කජු වගා කිරීමේ දී ගැම්බියාව යොදා ගන්නා වගා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට ශ්‍රී ලංකාවේ ගැම්බියානු තානාපතිවරයා සහයෝගය පළ කරයි.
ගැම්බියාව ශ්‍රී ලංකාව මෙන් කෘෂිකාර්මික වශයෙන් කුඩා රටක් වුවත් රටකජු, කජු ආදි වගාවන් රැසකින් මේ වනවිට ස්වයංපෝෂිත මට්ටමට පත්ව ඇතැයි ශ්‍රී ලංකාවේ ගැම්බියානු තානාපති මුස්තාපා ජවාරා මහතා පැවසීය.
ගැම්බියානු තානාපතිවරයා පසුගියදා (05) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙරට කෘෂි අංශ නවීකරණය පිළිබඳ සාකච්ඡා කළේය.
එහිදී අදහස් පළ කළ ඒ මහතා ගැම්බියාවේ වගා කරන කජු ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කර විශාල ආදායමක් උපයන බවද සදහන් කළේය.විශේෂයෙන් ගැම්බියාවේ ගංගා ඉවුරු දෙපස බහුල වශයෙන් කජු වගා කර ඇති බවත් තානාපතිවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට කජු වගාවේ යම් පසුබෑමක් ඇති වී ඇතැයි ද ඊට හේතුව වැඩි අස්වැන්නක් ලබා දෙන නව කජු විශේෂ හඳුනා ගැනීමට පියවර නොගැනීම බව ද සඳහන් කළේය. එමනිසා ගැම්බියාවේ කජු වගා තාක්ෂණය මෙරට තුළ යොදා ගැනීම සඳහා තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ගැම්බියානු තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
එමෙන්ම ගැම්බියාවට ශ්‍රී ලංකාවේ සහල් අපනයනය සඳහා ද්වි පාර්ශ්වික ගිවිසුමකට එළඹීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කළේය.
ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත මට්ටමට ලංව තිබේ. මෙවර මහ කන්නයේ දී ලැබෙන විශාල අස්වැන්නත් සමග සහල් අතිරික්තයක් ද ඇති වන බව සඳහන් කළ අමාත්‍යවරයා අතිරික්ත සහල් තොග විදේශ වෙළෙදපොලට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් සම්බන්ධව ද මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බව දැනුම් දුන්නේය.
ඒ අනුව ගැම්බියාවට අවශ්‍ය සහල් සැපයීම සඳහා දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තැබීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය විය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරිහු කිහිප දෙනෙක් ද සහභාගි වූහ.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය