දඹගල්ල පොලිස් වසමට අයත් මහබැද්ද ප්‍රදේශයේ පදිංචි හිටපු ගුවන්හමුදා සෙබලෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත රුසියායාවේ රැකියා සඳහා යවන බව පවසා රුසියා යුක්රේන යුද්ධයට පුද්ගලයින් යැවූ හිටපු යුදහමුදා සෙබලෙකු දඹගල්ල පොලීසිය මඟින් මොනරාගල පොලීසියට දැනුම්දීමෙන් පසු ඉකුත් අද(16) දින මොනරාගල පොලීසිය විසින් අත්අඩංගුවටගෙන ඇත.
පැමිණිලිකරු වන හිටපු ගුවන්හමුදා සෙබලාගෙන් රුසියාවේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දුවී රුපියල් ලක්ෂ පහක ලබාගෙන ඇති විත්තිකරු වන හිටපු යුදහමුදා සෙබලා ඉකුත් අප්‍රේල් මස 29 වෙනි දින පැමිණිලිකරු රුසියාවට යවා ඇත.
නමුත් රුසියාවේදී ඔහු භාරගැනීමට කිසිදු ඒජන්සිකරුවෙකු නොමැතිවීම නිසා මැයි මස 01 වෙනි දින ආපසු ලංකාවට පැමිණ තිබේ.
සිද්ධිය පිළිබඳව දඹගල්ල පොලීසියට දැනුම්දීමෙන් පසුව විමර්ශන සිදුකළ පොලීසිය සැකකරු අත්අඩංගුවටගෙන ඇත.
සැකකරු අවුරුදු පහක පමණ යුදහමුදාවේ සේවයකර ඉවත්වූ රුසියාවේ රැකියාවක් නිරතව සිට ලංකාවට පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවන්ගෙන් රුසියාවට හමුදා සහායකයින් සහ වෙළෙඳ සංකීර්ණ වල රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පහේ සිට දහය දක්වා ලබාගෙන ඇති බව පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
දැනට කුරුණෑගල,කඩුවෙල,හොරණ සහ පාදුක්ක යන ප්‍රදේශ වල පදිංචි හිටපු හමුදා සෙබළුන් කිහිප දෙනෙකුද තමන්ට රුසියාවේ රැකියා සඳහා යවන බව පවසා මුදල් ලබාගත් බවට පොලීසියට පැමිණිලිකර තිබේ.
ඔවුන් විසින් රුසියාවේ රැකියා ලබාගැනීම සඳහා සැකකාර හමුදා සෙබලාට අයත් පුද්ගලික බැංකු දෙකක ගිණුම් වලට මුදල් බැරකර ඇත.
සැකකරු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (17)දින ඉදිරිපත්කොට රැඳවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්නකිරීමට නියමිතය.මොනරාගල නියෝජ්‍ය පොලිස්පති ජේ.එස් වීරසේකර,මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය යන මහත්වරුන්ගේ උපදෙස් පිට දඹගල්ල පොලිස් ස්ථානාධිපති ජී.එස්.අයි ගිණිගේ,මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස් චාමින්ද සංජීව,මොනරාගල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල් ජයසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක