ශ්රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කප්පලඩි මුහුදු ප්රදේශයේ 2025 ජනවාරි මස 10 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 90 ග්රෑම් 45 ක තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්රී ලංකාවට අයත් මුහුද හා වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්රා යොදවා කල්පිටිය කප්පලඩි මුහුදු ප්රදේශයේ 2025 ජනවාරි මස 10 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබු සැකකටයුතු පාර්සල් තුනක් (03) නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම පාර්සල් තුනෙහි (03) ඇසුරුම් තිහක (30) අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 90 ග්රෑම් 45 ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එම මුහුදු ප්රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන, නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 36 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය, ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.