සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩවසන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය 24 වැනිදා සවස දෙවැනි වරටත් විසන්ධි කිරීමෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ පැවසූහ.
1954 අවධියේ සිට එවකට හිටපු ජනාධිපතිවරුන් විසින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිබිල ගෙවීමකින් තොරව නිදහස් කර ඇති අතර, මේ වසරේ දෙවැනි වරටත් මෙම විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් අලි, කොටි, වලසුන් මැද වැඩවාසය කරන තම ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවද රාහුලාලංකාර හිමියෝ වැඩිදුරටත් පෙන්වා දුන්හ.
රුපියල් ලක්ෂ 57 කට ආසන්නවූ මෙම විදුලි බිල ගෙවීමට තරම් ආධාර, මුදල්, නොලැබෙන හෙයින් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, පෙරජනාධිපතිවරු මෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය විදුලිබිලෙන් නිදහස්කර දෙන ලෙසද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් මෙන්ම විදුලිබල අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළහ. විදුලි ගාස්තු වැඩිවීමට පෙර දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙහි මාසික විදුලි බිල රු.ලක්ෂයක් පමණ වුවද, ගාස්තු වැඩිවීමත් සමග මාසිකව රු.ලක්ෂ හතරහමාරක, පහක විදුලි බිලක් ලැබීම දරා ගත නොහැකි බව රාහුලාලංකාර හිමියෝ සඳහන් කළහ.
මේ පිළිබඳ සැලකිල්ලට ගෙන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අඛණ්ඩව විදුලිය සැපයීමට ජනාධිපතිවරයාගෙත්, අගමැතිවරයාගෙත්, විපක්ෂ නායකවරයාගේත්, අනිකුත් දේශපාලඥයන්ගේත් මැදිහත්වීම සිදුකරන ලෙසද දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා ඉල්ලීමක් කළහ.
මේ සම්බන්ධව අදහස් දක්වන විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කරන්නේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙහි විදුලිබිල ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් වසර තිහකට ආසන්න කාලයක් ගෙවූ බවත්, මහජන උපයෝගිතා කොමිසන් සභාව පත් කිරීමෙන් අනතුරුව සෑම විදුලි පාරිභෝගිකයෙකුම විදුලිබිල ගෙවීම අනිවාර්ය කර ඇති බැවින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ද විදුලි බිල ගෙවීම අනිවාර්ය කර ඇති බවත්ය.
මනම්පිටිය -නිමල් ජයරත්න