ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව මීගමුව පිටිපන ප්‍රදේශයේ සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 09 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා කිලෝ දෙසිය පහයි (205) ග්‍රෑම් නමසිය පනස් අටක (958) පමණ තොගයක් ප්‍රවාහනය කල ලොරි රථයක් (01) සහ මෝටර් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය, දුන්ගල්පිටිය පොලිසිය හා එක්ව මීගමුව පිටිපන ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 09 වැනි දින සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශය ඔස්සේ ගමන් ගත් සැකකටයුතු අධි ශීතකරණ පහසුකම් සහිත ලොරි රථයක් පරික්ෂාවට ලක් කෙරිණි. එහිදි ලොරි රථයේ අධි ශිතකරණය තුල උර පහක (05) අසුරණ ලද කේරළ ගංජා කිලෝ එකසිය අසු හතයි (187) ග්‍රෑම් අටසිය හැත්තෑපහක (875) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ලොරි රථය නීතයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, මෙම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන මොටර් රථයක් කොළඹ, කෙසෙල් වත්ත ප්‍රදේශයේදී දුන්ගල්පිටිය පොලීසිය හා එක්ව පරික්ෂාවට ලක් කෙරුණු අතර, එහිදී එම මෝටර් රථයේ පාර්සල් නවයක (09) අසුරන ලද කේරළ ගංජා කිලෝ දහ අටයි (18) ග්‍රෑම් අසු තුනක (83) පමණ තොගයක් සමඟ එම මොටර් රථය අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන අසු දෙකකට (82) අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35ක් සහ 42ක් වන මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය, ලොරි රථය සහ මෝටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා දුන්ගල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
