කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් නිසි ආදායම් නොමැතිව අසරණව සිටින පිරිස් සඳහා රජය විසින් ලබා දීමට පියවර ගෙන තිබෙන රු. 5000 සහන දීමනාව ත්‍රී රෝද රථ රියදුරන්ට හා පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කිරීමේ කටයුතු වල නිරතව සිටින රියදුරන් සඳහාත් ලබා දීමට රජය විසින් තීරණය කරන ලදැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දැනට මෙම අංශ දෙකම නියාමනය හෝ කළමනාකරණය මධ්‍යම රජයේ අමාත්‍යාංශයකට පවරා නොමැති අතර ත්‍රීරෝද රියදුරන් හා පාසැල් සිසු ප්‍රවාහන සේවා කටයුතුවල නිරතව සිටින පුද්ගලයින් නියාමනය කිරීම පළාත් සභා විෂය පථය යටතේ ගැනෙන්නක් වේ.
නමුත් ත්‍රිරෝද රියදුරන්ගේ ඇතැම් සංගම් මෙන්ම පාසැල් සිසුදරුවන් ප්‍රවාහන කටයුතුවල නිරතව සිටින රියදුරන් විසින් එම දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් තමන්ගෙන් ඉල්ලා සිටි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව මින් පෙර ප්‍රකාශ කළ පරිදි පුද්ගලික බස් රථ හා කොන්දොස්තරවරුන්ට එම රු. 5000 දීමනාව ලබා දීමට තමන් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ මෙම ත්‍රීරෝද රථ රියදුරන් හා පාසැල් සිසුන් ප්‍රවාහනය කරන රියදුරන්ගේ ගැටලුවත් ඉදිරිපත් කළ අතර එහිදී මෙකී පාර්ශ්ව දෙක සඳහා ද අදාල රු. 5000 දීමනාව ලබා දීමට රජය එකඟතාවය පළ කළ බව අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව ඔවුන්ට ද මෙම රු. 5000 දීමනාව ලබා දීමට රජය විසින් පියවර ගන්නා බව අමාත්‍යවරයා දැනුම් දෙයි.