සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය යටතේ ළමා පොතක් මුද්‍රණයට තෝරා ගැනීම සඳහා පවත්වනු ලැබූ වැඩමුළුවලට සහභාගි වූ සම්පත්දායකයන් සහ දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා දීමනා ගෙවීමට රුපියල් දසලක්ෂ අසූනවදහස් පන්සිය හතළිස් හයක මුදලක් (1,089,546) වැයකර තිබුණද, එම වැඩමුළු ආශ්‍රිතව එකදු ළමා පොතක් හෝ මුද්‍රණය කිරීමට නොහැකි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
මෙසේ විශාල මුදලක් වැයකර ළමා පොතක් මුද්‍රණයට තෝරා ගැනීම සම්බන්ධයෙන් වැඩමුළු පවත්වා වැය කළ මුදල නිෂ්ඵල වියදමක් බවට පත්වී තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එහිදී සමීක්ෂණයට ලක්කරනු ලැබූ ලේඛකයන් 36දෙනෙකු විසින් ඉදිරිපත් කරනු ලැබූ අත්පිටපත් 64න් එක් පිටපතක්වත් මුද්‍රණයට සුදුසු නොවන බවට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් තීරණය කොට තිබුණි. මේ ආකාරයට පවත්වනු ලැබූ වැඩමුළුවලින් මුද්‍රණය සඳහා ළමා පොතක් තෝරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පසුව එම වැඩමුළුවලට සහභාගි වූ ලේඛකයෙකු ලවා පොතක් ලියා පළ කිරීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් තීන්දු කොට තිබුණි. ඒ සඳහා රුපියල් පනස්හත්ලක්ෂ පනස්නවදහස් දහඅටක මුදලක් (5,759,018) වැයකර තිබුණි.
සිංහල භාෂාවෙන් පොත් පිටපත් 155,475ක් සහ දෙමළ භාෂාවෙන් පිටපත් 73,475ක් මුද්‍රණය කර තිබුණි. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ විශේෂ විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.