පාසල් පොත්පත් සහ උපකරණ මිල දී ගැනීමට රජයෙන් ලබාදෙන රුපියල් 6000ක මුදල් වුවචරය ලබාගැනීමට නම් 2025 වර්ෂයට නියමිත පාසල් සංවර්ධන ගාස්තු ගෙවා අවසන් කළ යුතු යැයි ගාල්ලේ පාසලක විදුහල්පතිවරයෙක් දෙමාපියන්ට දැනුම් දී තිබේ.
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දරුවන්ට පාසල් උපකරණ සහ පොත්පත් මිල දී ගැනීමට අවශ්‍ය රුපියල් 6000.00ක මුදල අස්වැසුම මුදල් බැරකරනු ලබන ගිනුමට රජයෙන් එකතු කරනු ලබයි. ඊට අමතරව ළමයින් 300කට අඩු පාසල්වල අනෙකුත් සියලු සිසුන්ට එම මුදල වුවචරයක් ලෙස රජයෙන් ලබා දීම සිදුකරයි.
මෙම විදුහලේ ඉගෙනුම ලබන ළමුන් සංඛ්‍යාව 260ක් පමණ වන බැවින් එම පාසලේ සිසු දරු දැරියන්ට ද රජයේ එම දීමනාවට හිමිකම් ලැබී ඇත. ඒ අනුව පාසලේ සිසුන් අතරින් අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අදාළ නොවන සිසු සිසුවියන් 93 දෙනකු සඳහා රුපියල් 6000.00 බැගින් මුදල් වවුචර පසුගිය සතියේ පාසලට ලැබී තිබිණි.
මෙම වවුචර ලැබුණු පසු එමෙ විදුහල්පති දෙමාපියන්ගේ වට්ස්ඇප් සමූහයකට පණිවිඩයක් යොමුකරමින් පවසා ඇත්තේ 2025 වර්ෂයට නියමිත පාසල් සංවර්ධන ගාස්තුව වන රුපියල් 1260.00ක මුදල ගෙවා අවසන්කරන තුරු එම වවුචර ලබා නොදෙන බවයි. එබැවින් වවුචර ලබාගැනීමට නම් පාසල් සංවර්ධන ගාස්තු ගෙවා අවසන් කර පැමිණෙන ලෙස විදුහල්පතිවරයා දෙමාපියන්ට දන්වා ඇත.
දෙමාපියන් පවසන්නේ පාසල් සංවර්ධන සමිති රැස්වීමක දී වාර්ෂික පාසල් සංවර්ධන ගාස්තුව වාරික තුනකින් ගෙවීමට හැකිවන පරිදි යෝජනාවක් පවා සම්මත කර තිබිය දී විදුහල්පතිවරයා අත්තනෝමතික ලෙස කටයුතු කරන බවයි. එමගින් දරුවන් සහ දෙමාපියන් දැඩි පීඩාවකට පත්වන බව ද මොපියෝ පෙන්වා දෙති.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට
