විල්පත්තුව ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි ප්‍රදේශයේ වනාන්තර කපා හෙළි කළ ප්‍රදේශවල යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (02දා)නිකුත් කළේය.
රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ,ගාමිණී අමරසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල නියෝගය නිකුත් කළේය.
පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය කපා හෙළි පෙහෙළි කළ ප්‍රදේශ වෙනුවෙන් වෙනත් ස්ථානයක ගස් සිටුවීමට පියවර ගන්නා ලෙසත්, ඊට අදාළ වියදම් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අයකර ගැනීමට පියවර ගන්නා ලෙසත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණ.
එම තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම කැදවනු ලැබූ අවස්ථාවේදී බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන කැලෑ ප්‍රදේශය නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා පත් කර තිබූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් වෙන් කර තිබු ඉඩමක් යැයිද, තම සේවාදායකයා කිසිදු ආකාරයකින් නීතියට පටහැනි ක්‍රියාවක් කර නැතැයිද කීය.
නීතිමය සිද්ධාන්තයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබාදී ඇතැයි කී ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අභියාචනාධිකරණ තීන්දුව ඉවත දමන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ අධිකරණය, පෙත්සම ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදා විභාගයට ගැනීමට නියම කළේය.