පොළොන්නරුව වැලිකන්ද සෙවණපිටිය ශ්‍රී කාශ්‍යපාරාමයේ දහම් පාසල් දරුවන්ට, රිලවුන්ගෙන් සිදුවන හිරිහැර සහ රිලවුන් දහම්පාසල් දරුවන් පරිහරණය කරන වැසිකිලි පද්ධතිය,ජලනල පද්ධතියේ කරාම කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් දහම් පාසල 12 වෙනි ඉරිදා සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ, බව සෙවණපිටිය ශ්‍රි කාශ්‍යපාරාමාධිපති උහුමීයේ සිරි සුමනරත්න නාහිමියන් සඳහන් කළහ.
ඉතා අඩු පහසුකම් සහිත දහම් පාසලක් වන සෙවණපිටිය කාශ්යාපාරාම දහම් පාසලේ දරුවන් සියයක් පමණ දහම් අධ්‍යාපනය ලබන අතර ඒ සඳහා ගුරුවරුන් අට දෙනෙකු පමණ සේවය කරති.
පසුගිය දින කිහිපය පුරා සීයකින් පමණ යුත් රිළා රංචුවක් විහාරස්ථානයට පැන සංඝාවාසය තිබු බුද්ධ ප්‍රතිමා, සිවුරු, පිරිකර ඇතුළු වටිනා සෙසු පිරිකර, පොත් පවා විනාශ කර දැමූ බවත්, මේ පිළිබඳ අදාල බලධාරීන්ට පැවසූවද කිසිදු විසඳුමක් නොමැති බවද සිරි සුමනරත්න නාහිමියන් පැවසූහ.
දහම් පාසල් දරුවන් සහ ගුරුවරුන් පරිහරණය කරන ජල කරාම, ජල ටැංකි, වැසිකිලි පද්ධතියක්, පවා කඩා විනාශ කිරීම හේතුවෙන්, ඉරිදා දිනයේ දී දරුවන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන තාවකාලිකව දහම් පාසල වසා දැමීමට තීරණය කළ බව සිරි සුමනරතන නාහිමියන් වැඩිදුරටත් පැවසූහ.
සෙවණපිටිය ශ්‍රී කාශ්‍යපාරාම විහාරස්ථානයේ දින ගණනාවක සිට මෙම රිළා රංචුව විසින් දේපළ විනාශ කිරීමට අමතරව, දරුවන්, දහම්පාසල්, ගුරුවරුන්, මෙන්ම දායකයින් වැඳ නමස්කාර කරන, බුද්ධ ප්‍රතිමා විශාල ප්‍රමාණයක් රිළවුන් විසින් කඩා විනාශ කර ඇති බවත්, එමෙන්ම සංඝාවාස ගොඩනැගිල්ල තුළ තිබූ ධර්මාසනය බුද්ධ ප්‍රතිමා, අටපිරිකර, සෙසු පිරිකර, රිලවුන් කා විනාශ කර ඇති බවත්, මෙම තත්ත්වය නිසා තමන්ට සහ දායකයින්ට කරගෙන කරකියා ගත නොහැකි තත්ත්වයක් පත් වී ඇති බවත්, ඉතා අඩු පහසුකම් සහිත විහාරස්ථානය සහ දහම් පාසලේ කටයුතු යළි සකසා ගැනීමට කාගෙන් හෝ උදව් උපකාර අපේක්ෂා කරන බවද සිරි සුමන රතනාහිමියන් පැවසූහ.
මනම්පිටිය නිමල් ජයරත්න