මීට වසර දහ අටකට පෙර නොච්චියාගම ළිඳවැව දේවාලය අසල වංගු සහිත මාර්ගයේ නොසැලකිලිමත්ව හා අපරීක්ෂාකාරී ලෙස කැබ් රථයක් පදවා එම මාර්ගය්ම නිවැරදි දිශාවේ ගමන් කරමින් සිටි තිදරු මවකගේ හප්පා ඇයට බරපතළ තුවාල සිදු කොට අබාධිත තත්වයට පත් කළ බවට අධිකරණය හමුවේ වරදකරුවෙකු වූ රියදුරෙකුට එම තිදරු මවට මුදලින් රුපියල් ලක්ෂ විසි අටක වන්දියක් සහ නඩු ගාස්තු ගෙවන ලෙස අනුරාධපුර දිසා විනිසුරු සම්පත් හේවාවසම් මහතා නියෝග කළේය.
මෙසේ වන්දි ගෙවන ලෙස නියෝග කළේ 2007 වසරේ මාර්තු මස 4 දින නොච්චියාගම ළිඳවැවදී මෙම අනතුර සිදු කළ 50 ශ්‍රී 4200 අංක දරන කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ අනුරාධපුර ජයන්ති මාවත අංක 562/21/2 ලිපිනයේ පදිංචි ස්මයිල් මොහොමදු සුල්තාන් නැමැත්තෙකුටය.
අනුරාධපුර දිසා විනිසුරු සම්පත් හේවාවසම් මහතා මෙසේ නියෝග කළේ මෙම වන්දි නඩුවේ විත්තිකාර රියදුරා විසින් සිදු කළ රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා දැනට ආබාධිත තත්වයේ පසුවන නොච්චියාගම ළිඳවැව පදිංචිකාරියක වන දීපානි සුනේත්‍රා වැලිවත්ත මහත්මිය නීතිඥ රෝහණ ප්‍රේමලාල් මහතා මගින් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා තිබූ වන්දි නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ අනුරාධපුර ජයන්ති මාවත අංක 562/21/2 ලිපිනයේ පදිංචි ස්මයිල් මොහොමදු සුල්තාන් නැමති රියදුරෙකු සහ කොළඹ 01 අංක 69 ජනාධිපති මාවත 4 වැනි මහල ලිපිනයේ සෙලින්කෝ රක්ෂණ සමාගමයි. පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ රෝහණ ප්‍රේමලාල් මහතා පෙනී සිටි අතර විත්තිකාර රියදුරා වෙනුවෙන් නීතිඥ සජීව ගුණරත්න මහතා පෙනී සිටියේය.
මෙම අනතුරු සම්බන්ධයෙන් විත්තිකාර රියදුරාට එරෙහිව නොච්චියාම පොලීසියේ රථ වාහාන අංශය මගින් නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේද නඩු පවරා තිබිණ. ඒ රථ වාහන චෝදනා හතරක් යටතේය. එම චෝදනා හතරටම විත්තිකාර රියදුරා මීට පෙර අධිකරණය හමුවේ වරද පිළි ගත්තේය.
අනුරාධපුර අධිකරණ- උපාලි ආනන්ද