අධිකරණවලින් දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටින රැඳවියන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුණෙන් දිවයිනේ අමතර ඉඩ පහසුකම් සහිත බන්ධනාගාරවල රැඳවියන්ගේ ශ්‍රම දායකත්වය ලබාදී පුද්ගලික ව්‍යවසායකත්වයන් යටතේ නිෂ්පාදන කර්මාන්ත ඒකක ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය.
ඔවුන්ගේ ශ්‍රමය සිරගත නොකොට පලදායී කටයුත්තකට යොදවා ඔවුනට බන්ධනාගාරය තුළදීම ආදායම් මාර්ගයක් සැලසීම මෙම වැඩපිළිවෙළ මගින් අපේක්ෂිත බව ඒ මහතා පැවසීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත සංවර්ධන මන්ඩලය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුව මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට මෙම මස 31 දක්වා ආයෝජකයන්ගෙන් ඉල්ලුම්පත් කැඳවා ඇතැයිද බන්ධනාගාර කොමසාරිස්වරයා පැවැසීය.
මෙම වැඩ පිළිවෙලේ මුල් අදියර යටතේ මහර,වටරැක,කුරුවිට,වීරවිල,මීතිරිගල, අනුරාධපුරය,කන්දේවත්ත ,අඟුණකොලපෑලැස්ස,බදුල්ල තල්දෙන,මීගමුව පල්ලංසේන, සහ පල්ලෙකැලේ යන බන්ධනාගාර එකොළහ තුළ කර්මාන්ත ඒකක පිහිටුවීමට යෝජිත ය.
මෙම බන්ධනාගාරවල ඉඩ ඇති ගොඩනැගිලිවල සුදුසු කර්මාන්ත ඒකක පිහිටුවීම සඳහා සුදුසු ආයෝජකයන්ට ලබා දෙන අතර ඒවායේ නිෂ්පාදන කටයුතු සඳහා රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයද ලබා දෙන බවත් ඒ වෙනුවෙන් රැඳවියන්ට කර්මාන්ත හිමියන්ගෙන් දෛනික දීමනාවක් ලබාදෙන බවත් ජගත් වීරසිංහ මහතා සඳහන් කළේය.
ජේ.ඉඳුරුවගේ