රාජ්‍ය සේවකයන් රුපියල් විසිදහසකින් වැටුප් වැඩි වීමක් ඉල්ලා සිටියදී අයවැය තුළින් රුපියල් පන්දහසක් ලබා දීමට කටයුතු කිරීම රාජ්‍ය සේවකයන්ගේ බලාපොරොත්තු සුන් කිරීමක් බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් මහජන නියෝජිතයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ලෙස කටයුතු කරන අවස්ථාවේදී පවා රුපියල් විසිදහසකින් වැටුප් වැඩි විය යුතු බවට අරගල කළ බවද එම සංගමයේ ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
මේ වන විට රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවාවල පුරප්පාඩු පනස්දහසකට වැඩි ප්‍රමාණයක් පවතින බවත්, මේ නිසා අදාළ රාජකාරි කටයුතු පවා සේවයේ නිරත රාජ්‍ය සේවකයන් විසින් සිදුකරමින් තිබෙන බවද පැවසීය.
රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් හතළිස්දහසක් දක්වා ඉහළ දමන බවට සඳහන් කළත් අදාළ කටයුතු සිදුවන්නේ දැනට ලබා දෙන අතුරු දීමනාව හා විශේෂ දීමනාවලින් කොටසක් මූලික වැටුපට එකතු කරමින් බවද සඳහන් කළේය.
එහෙත් වෘත්තීය සමිතිවල ඉල්ලීම් වී තිබුණේ රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් හතළිස්දහසක් දක්වා සෘජුවම වැඩි කරන ලෙස බවද පැවසීය.
රුපියල් විසිදහසක වැටුප් වැඩි වීමේ අරගලය ආරම්භ කරනු ලැබුවේ පසුගිය වසරේ සිට බවත්, මේ වන විට භාණ්ඩ හා සේවාවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවද පැවසීය.
මේ නිසා මෙවර අයවැයෙන් සැලකිය යුතු වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවකයන්ට ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බවත්, එහෙත් රුපියල් පන්දහසකින් පමණක් වැටුප් වැඩි වීම නිසා රාජ්‍ය සේවකයන්ගේ බලාපොරොත්තු සුන් වී තිබෙන බවද සඳහන් කළේය.