වසර පනහකට වඩා වැඩි ඉතිහාසයක් ඇති රාජ්‍ය ඖෂධ සංස්ථාව විකුණා දැමීමට සැලසුම් කර තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහන් කරයි.
මෙරට ජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ අඩු මිලට ලබාදීම සඳහා මෙම සංස්ථාව පිහිටුවා තිබෙන බවත් එතරම් වටිනාකමක් සහිත මෙම ආයතනය ඉන්දියාවට විකුණා දැමීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් වෙමින් පවතින බව එම සමිතියේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේය.
මෙම කටයුතු වහාම නතර කරන ලෙසට තමන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් මීට අමතරව හෙට (30දා) මේ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කරන බවද පැවසීය.
රාජ්‍ය ඖෂධ සංස්ථාව නිසා මෙරට ග්‍රාමීය ජනතාවට ඉතා අඩු මිලට ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ලබා ගැනීමට අවස්ථාව සැලසී තිබෙන නිසා මෙරට දුප්පත් ජනතාව වැඩි මිලට ඖෂධ අළෙවි කරන ඖෂධ අලෙවි සල්වලට යාම වෙනුවට ඔසු සල්වලින් ඖෂධ ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවද සඳහන් කළේය.
රාජ්‍ය ඖෂධ සංස්ථාව විකුණා දැමීමෙන් මෙරට ග්‍රාමීය සෞඛ්‍ය පද්ධතියට බරපතළ හානියක් සිදුවිය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.
මීට අමතරව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඖෂධ සංස්ථාව හරහා ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ නිසි නියාමනයකින් යුක්තව මිලදී ගැනීම සිදුකරන බැවින් ඖෂධ සැපයුම් ජාලයටද මෙය බරපතළ බලපෑමක් සිදු කළ හැකි බවද සඳහන් කළේය.
ඉහත සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිත විරෝධය පළ කොට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට හෙට ලිපියක් භාර දීමට කටයුතු කරන බවද පැවසීය.