රාජ්ය ආදායම වසරේ මුල් මාස පහ තුළදී සියයට 17.5ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරමින් පූර්ව වසංගත මට්ටම් කරා ළඟා වී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
2021 වසරේ මුල් මාස පහ තුළදී රු. බිලියන 630.1 වූ ආදායම 2022 වසරේ මුල් මාස 5 තුළදී රුපියල් බිලියන 811.9 දක්වා ඉහළ ගොස් තිබේ.
බදු අනුපාත ඉහළ නැංවීම සහ විශාල සමාගම් සඳහා එක් වරකට අධිභාර බද්ද පැනවීම හේතුවෙන් මෙසේ රාජ්ය ආදායම ඉහළ ගොස් තිබේ.
ඒසේම බදු නොවන ආදායමද 2021 වසරේ පැවැති රුපියල් බිලියන 60.8 සිට රුපියල් බිලියන 101.3 දක්වා විශාල ප්රතිශතයකින් ඉහළ ගොස් තිබේ.
රජයේ නවතම පුරෝකථනයන්ට අනුව, රාජ්ය ආදායම පසුගිය වසරේ සියයට 8.6 සිට මේ වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.1 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, රාජ්ය වියදම පසුගිය වසරේ සියයට 16.2 සිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18.9 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අයවැය හිඟය පසුගිය වසරේ සියයට 12.2 සිට මේ වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.9 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ වසරේ මැයි මාසයෙන් පසු රජය ආදායම් බදු, වැට් බදු, විදුලි සංදේශ බදු සහ ඔට්ටු ඇල්ලීමේ සහ ක්රීඩා ගාස්තු ඇතුළු ප්රධාන බදු කිහිපයක අනුපාත වැඩි කළේය. මීට අමතරව ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන් සඳහා ද සියයට 2.5ක නව බද්දක් ක්රියාත්මක කර තිබේ.