රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තරම් ශ්‍රේෂ්ඨාධිකරණය සමග ගැටුම් ඇති කරගත් ජනාධිපතිවරයෙකු ඉතිහාසයේ නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (28දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එමෙන්ම මෙම ජනාධිපතිවරණය නොපවත්වා සිටීමේ උත්සාහයකද ඔහු නිරත වන බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් දක්වා සිටියේය.
“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තරම් ශ්‍රේෂ්ඨාධිකරණයත් සමග ගැටුම් හදාගත්ත ජනාධිපතිවරයෙක් අපේ ඉතිහාසය තුළ ඉඳලා නෑ. ඔහුගේ මේ අවුරුදු දෙකක කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයත් සමග ඔහු තමයි නිතර නිතර තමන්ගේ අනසකට අධිකරණ පද්ධතිය යටත් කරගන්න නිතර එළියට ගිහින් කතා පැවැත්වුවේ. ඔහු නිතරම අධිකරණ බලය සම්බන්ධව ප්‍රකාශ කරමින් අධිකරණය තමන්ගේ යටතට ගන්න නිතරම උත්සහ කළා.
ඔහුගේ ක්‍රියාකලාපය තුළ මනාව පැහැදිලි වෙනවා ඔහු අධිකරණයට දැඩි බලපෑම් කරන්න උත්සහ කළ ජනාධිපතිවරයෙක් බව. මේ මැතිවරණ ක්රියාදාමයත් අවුල් කිරීමේ යම් උත්සාහයක නිරත වෙලා ඉන්නවා. එයා ඍජුව හෝ වක්‍රව මේකත් අවුල් කරන්න හදන්නේ.”