පවතින තත්ත්වය හේතුවෙන් කල්බදු වාරික හා පොලී ගෙවීම් සඳහා සහන ලබා දී තිබුණ ද, එකී චක්රලේඛය හරහා ආවරණය වන්නේ සීමිත වාහන ඛාණ්ඩ ප්රමාණයක් බැවින්, කල්බදු පහසුකම් යටතේ ඇති සියලුම වාහන සඳහා කොන්දේසි විරහිතව, වාරික හා පොලී අයකර නොගැනීමේ මාස 06ක සහන කාලයක් ලබා දෙන සමස්ත ලංකා රථ වාහන ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.
එම ලිපිය පහත පරිදි වේ.
"2020 මාර්තු 27 වන දින ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මඟින් නිකුත් කළ, 2020 අංක 05 දරණ චක්රලේඛයට අනුව, කල්බදු වාරික හා පොලී ගෙවීම් සඳහා සහන ලැබී තිබුණ ද, එකී චක්රලේඛය හරහා ආවරණය වන්නේ සීමිත වාහන ඛාණ්ඩ ප්රමාණයක් බව ඔබතුමන්ගේ දැඩි අවධානයට යොමු කරනු කැමැත්තෙමු.
උද්ගතව ඇති COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ, ඉහත චක්රලේඛය හරහා ආවරණය වන පිරිස ද ඇතුළුව, සියලුම කල්බදු වාරික ගෙවන්නන් දැඩිව අගතියට පත්ව ඇති බව වැඩිදුරටත් අවධාරණය කරන්නෙමු.
එබැවින්, ඔබතුමන් බලයට පත් කිරීම වෙනුවෙන් වෙහෙසුණු බහුතරයක් වූ ජනතාවගේ බලාපොරොත්තු බිඳ නොදමා, සියලුම කල්බදු වාරික ගෙවන්නන් හට කොන්දේසි විරහිත ව, වාරික හා පොලී අයකර නොගැනීමේ මාස 06ක සහන කාලයක් ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
උක්ත කරුණ සම්බන්ධව ඔබතුමන් ඇතුළු වගකිව යුතු නිලධාරීන්ගේ ඍජු අවධානය හා ඉක්මන්, යහපත් පිළිතුරක් අපේක්ෂා කරමු."