රතුපස්වල පැවිති විරෝධතාවයකට වෙඩිතැබීමේ නඩුවේ විත්තිකරුවන් වූ හමුදා සාමාජිකයන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියෝග කළේය.
ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මඟින් පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින්, එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය නගරයේදී 2013 අගෝස්තු 01 වනදා විරෝධතාවක නිරත වූ අතර එය විසුරුවා හැරිමට හමුදාව වෙඩි තැබිමක් සිදු කළේය.
එම වෙඩි තැබිමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව පනහකට වැඩි පිරිසක් තුවාල ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරින් වූ බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන (එවක මේජර්), සැරයන් අරුණගේ සිරිසේන, කෝප්රල් ජේ.එම්. තිලකරත්න සහ කෝප්රල් ලලිත් ග්‍රේ යන හමුදා සාමාජිකයන්ට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළේය.
පිටු 242කින් සමන්විත සම්පූර්ණ නඩු තීන්දුව පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයට පත්කළේ, මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, සහන් මාපා බණ්ඩාර සහ රෂ්මි සිංගප්පුලි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් ලෙසිනි.
ඒ අනුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නිමල් රණවීර මහතා තීන්දුව ප්‍රකාශ කළේය.
වසර 11කට වැඩි කාලයක් දීර්ඝ නඩු විභාගයක් මෙහිදි සිදු කෙරිණි.