රත්නපුර දිස්ත්‍රික්කයට ඊයේ (01) වනදා සවස් කාලයේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර ඇතුළු විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් අද (.02) දින වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 2575 ක, පුද්ගලයින් 9398 දෙනෙකු වෙත ආපදා තත්ත්වයන් බලපා ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් රත්නපුර ආපදා කළමනාකරණ කමිටුවේ සභාපති වසන්ත ගුණරත්න මහතා පැවසීය.
මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ රත්නපුර දිසාපති වසන්ත ගුණරත්න මහතා, මෙම ආපදා තත්ත්වය රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08 ක් සඳහා බලපෑම් ඇති කරනු ලැබූවා. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නම් රත්නපුර, කුරුවිට, ඇලපාත, ඇහැලියගොඩ, නිවිතිගල, අයගම, කිරිඇල්ල හා පැල්මඩුල්ලයි.
රත්නපුර දිස්ත්‍රික්කය තුළ මරණ 04 ක්ද වාර්තාවී ඇති අතර , ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වයස අවුරුදු 21 ක තරුණියක් ( දොලේ සැඩ පහරට ගසාගෙන යාම), කිරිඇල්ල කොට්ඨාසයේ කාන්තාවක් (අධික සුළං හේතුවෙන් ගසක් කඩා වැටීම), ඇහැලියගොඩ කොට්ඨාසයේ වයස අවුරුදු 11 ක ගැහැණු දරුවෙක් ( අධික වර්ෂාව හේතුවෙන් කණ්ඩි කඩා වැටීම), අයගම කොට්ඨාසයේ පිරිමි පුද්ගලයෙක්ද (නායට හසුවී ජල පහරට ගසා ගෙන යාම) වශයෙන් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය .
එමෙන්ම ආපදා තත්ත්වයන් හේතුවෙන් රත්නපුර, ඇහැලියගොඩ හා කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුරක්ෂිත මධ්‍යස්ථාන 14 ක පවුල් 529 ක සාමාජිකයින් 2219 ක්ද සිටිති.
එමෙන්ම ඇලපාත, ඇහැලියගොඩ හා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 1258 ක පුද්ගලයින් 4874 ක්ද ඥාති නිවාසවල රැඳී සිටිති.
තවද නිවාස 88 කට ආපදා තත්ත්වයන් හේතුවෙන් අර්ධ හානි සිදු වී ඇත.
විපතට පත්වූවන් සඳහා කඩිනම් සහන සැලසීමට කටයුතු කරමින් සිටින බවද දිසාපති වසන්ත ගුණරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
කලවාන උපෙන්ද්‍ර