ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථනිරූපනයක් දෙනතුරු ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායකයෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 08 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අද (04) තීරණය කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීතී පද්මන් සුරසේන සහ එස්. තුරේරාජා මහත්වරු පත් කර ඇත.
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ ධුරකාලය කවරක්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අර්ථකථනය කළ යුතු බවත් අර්ථනිරූපණයක් ලබා ගැනීමකින් තොරව ජනාධිපතිවරණය පැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙන්වා දෙන පෙත්සම්කරු ජනාධිපතිවරයාගේ ධුරකාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් පැහැදිලි අර්ථකථනයක් දෙන තෙක් දැනට ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පෙත්සම්කරු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.
මොරටුවේ පදිංචි ව්‍යවසායකයකු බව කියන සී.ඩී. ලේනව මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතුළු පිරිසන් නම් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම පටහැනිව යෑමක් මෙන්ම එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) ව්‍යවස්ථාව සංශෝධනය වී ඇද්ද යන්න අපැහැදිලි බවත් පවසන පෙත්සම්කාර ලේනව මහතා ජනාධිපතිවරයාගේ ධුරකාලය කොපමණද? යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක් කළ යුතු බවද සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක් නොමැතිව ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද එමගින් මහජනතා මුදල් අවභාවිතා කිරීමක් විය හැකි බවද පවසන පෙත්සම්කරු ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක් දෙනතුරු මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම ඇතුළු බලධාරීන් වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්ද කළේය.