- මිනිස්සු අපිට බලය දුන්නට අපේ නායකයෝ අපිව රැකගත්තද කියලා අපිට ගැටළුවක් තියෙනවා....
- අපි නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි...
- අපේ වේදිකාවේ පෞද්ගලික දේශපාලනය කරන කවුරුවත් නෑ...
රට ගොඩදාපු නායකයාට විරුද්ධ වීමට පොහොට්ටුවට සදාචාරත්මක අයිතියක් නැතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ පොහොට්ටුව ඇතුළු සියළුම දේශපාලන පක්ෂවලට නැවත රට තුළ දේශපාලනය කිරීමට හැකි වතාවරණයක් සැකසුවේ වත්මන් ජනාධිපතිවරයා බවයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ කුරුණෑලගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ආසනයේ ජනාධිපතිවරණ ඒකාබද්ධ කමිටු පිහිටුවීමේ සාකච්ඡාවට ඊයේ (19) දින එක්වෙමිණි. එම සාකච්ඡාව නිකවැරටිය මහසෙන් ප්‍රවාහන සමුපකාර සමිති සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය,
“මෙතැනට පැමිණි සියළු දෙනාම රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන්න පැමිණි අයයි. හැමෝම අහනවා මම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වේදිකාවට නැග්ගම ඔබතුමා නියෝජනය කරන්නේ කුමන පක්ෂයේද කියලා. අපි නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙයි. අපි ඒ පක්ෂයෙන් අයින් වෙලා නෑ. මේ මැතිවරණය රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති කරමු යන ස්ථාවරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් ඉන්නවා. සමහරු අහනවා පක්ෂයෙන් ඉවත් කළොත් මොකක්ද කරන්නේ කියලා. ඒ සම්බන්ධව අපි වැඩපිළිවෙලක් නිර්මාණය කර අවසන්. ඒ වෙනුවෙන් අපි සන්ධානයක් හා වෙනම පක්ෂයකුත් නිර්මාණය කර අවසන්.
2015 දී මහින්ද මහත්තයා පැරදුනාම අපේ පක්ෂයේ තනතුරුලාභීන් මහින්ද මහත්තයා අතහැරලා ගියා. ඒ වේලාවේ එකම ධූරධාරියා ලෙස මම මහින්ද සුළඟ අරගෙන රට වටේ ගියා. එතුමා යුද්ධය අවසන් කළ නිසා යුතුකම් ඉටු කරන්න ඕනි නිසා අපි ඒ දේ කළා. අපි හැමදාම වැරදුන තැන් තිබුණා. අපි විපක්ෂයේ ඉන්නකොට සියළු දෙනා එකට එකතු වී කටයුතු කළා. බලයට ආවම ඒ දේ නැති වෙනවා. මහින්ද මහත්තයා බලයට ගේන්න පොහොට්ටුව හදන්න මම රට වටේ ගිය කෙනෙක්. 2019 ජනාධිපතිවරයට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ගේන්න එපා කියපු කෙනෙක් මම. එතුමා තරඟ කරන්න බැහැයි කියද්දිත් පවුලේ සියළු දෙනා එකතු වෙලා කතා කරා ගෝඨාභය මහත්තයා දාමු කියලා. ඒ වෙලාවෙත් අපි ඒකට එකඟ වුණා. අපි එතුමාව ජයග්‍රහණය කරා ගෙන ගියා. ඉන්පසු අපි පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කළා. අපි බලය පිහිටුවලා කටයුතු කරන්න පුළුවන් වුණේ අවුරුදු දෙකයි.
අපේ නායකයෝ අපිව දාලා ගියා. 2019 දී ජනාධිපති වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති වුණේ මහින්ද රාජපක්ෂ මහතා, මුදල් ඇමති වුණේ බැසිල් රාජපක්ෂ මහතා, චමල් මහත්තයයි නාමල් මහත්තයයි දෙන්නම ඒ කැබිනට් එකේ හිටියා. මමත් හිටියා. පොහොර ප්රශ්නය එනකොට ඒකට අපි කතා කරනකොට අපේ මතයට ගරු කළේ නෑ. ඒ අයගේ මතයට වැඩ කළා. අපි පොහොට්ටුව නියෝජනය කරන්නේ සඟ, වෙඳ, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය එක්කයි. අපිට ගොවීන්, ගුරුවරු, කම්කරුවෝ ටික නැති වුණා.
මිනිස්සු අපිට බලය දුන්නට අපේ නායකයෝ අපිව රැකගත්තද කියලා ගැටළුවක් තියෙනවා. අපි 2022 මැයි 09 වැනිදා පෙර දින පොහොට්ටුවේ ප්‍රබලයින් කීප දෙනෙක් එක්ව අපේ පාක්ෂිකයින්ට අරලියගහ මන්දිරයට එන්න කිව්වා. පීඩනයට පත්ව ඉන්න මිනිස්සු තවත් පීඩාවට පත් නොකර ඔය දේ කරන්න එපා කියලා මම විරුද්ධ වුණා. උදේ පාන්දර මම මහින්ද මහත්තයා ළඟට ගිහින් කිව්වා ඔය දේ කරන්න එපා කියලා. එදා කළේ අනවශ්‍ය වැඩක්. එදා මොකද වුණේ අපේ පාක්ෂිකයෝ ගුටි කෑවා. ලැජ්වාට පත්වුණා. ගෙවල් ගිනි තිබ්බා. මිනිස්සු මැරුණා. එදා අපේ නායකයෝ පැනලා ගියා. රට භාර ගන්න කෙනෙක් හිටියේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ වෙලාවේ අපේ නායකයෝ මේ රට භාර දුන්නා. අපි නෙමෙයි භාර දුන්නේ රාජපක්ෂ පවුලයි. ඒ භාර දීලා අවුරුදු දෙක හමාරක් ගිහින් ජනාධිපතිවරණය එනකොට මේ රට ගොඩදාපු නායකයා එපා කියන්න සදාචාරාත්මක අයිතියක් නෑ. පොහොට්ටුව ඇතුළු සියළු දේශපාලන පක්ෂවලට පාරට බැහැලා දේශපාලනය කරන්න පුළුවන් වාතාවරණය හැදුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා.
අද බලන්න බංගලාදේශයට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ රටේ නායකයෝ අද පැනලා යනවා. අදවන විට රට අරාජිකයි. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ආවට පස්සෙත් ඒ රටේ මිනිමරණ එක නවත්වන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේ පවුල් පිටින් ගිනි තියලා මරලා ඉවරයි.
එදා රනිල් වික්‍රමසිංහ නොවෙන්න මේ රට ඒ තත්ත්වයට පත්වෙනවා. අපි අපේ පක්ෂයෙන් ඉල්ලුවේ එකයි, එදා ඔහුට බලය දෙන්න පුලුවන් නම් ඇයි අපිට නැවත වතාවක් බලය දෙන්න බැරි කියලා විතරයි. අපි ඇහුවා නාමල්ව දාලා දිනන්න පුලුවන් ද?. පරදින බව දැන දැන ඇයි නාමල් දාන්නේ?. ඒ වෙනුවට දිනන අපේක්ෂකයෙකුට උදව් කරලා මේ රටේ පවතින ආර්ථික අර්බුධයෙන් ගොඩගන්න සහයෝගය දෙමු කියලා අපි යෝජනා කළා. හැබැයි ඒවට ඇහුම්කන් දුන්නේ නෑ.
පාර්ලිමේන්තුවේ 156 න් අපිට ඉතිරි උනේ 96 යි. අනික් අය සීසීකඩ විසිරිලා ගියා. අද පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමෙන් 104 දෙනෙක්ම ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක. ඒ නිසා මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අපිට කිසි බයක් නෑ. රතු නිල් කොළ සියලු දේශපාලන පක්ෂ දැන් මෙතන ඉන්නවා. සියලු ජාතීන්ට මෙතන වාඩිවෙන්න පුලුවන්. සියලු ආගම්වලට එකතු වෙන්න පුලුවන්. මේක නෙවේද අපේ රටේ අවශ්‍යතාවය. ඒක තියෙනවද ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවේ. ජනතා විමුක්ති පෙරමුණ බලයට එනවා කියලා කියන්නේ නැවත 2022 වගේ කැළෑ නීතිය රටට ගේන, නීතිය ගමට භාරදෙන බංග්ලාදේශය වගේ රටක් වෙන්න පුලුවන් තත්ත්වයක්. මේ රටේ ව්‍යාපාරිකයෝ, වෘත්තිකයෝ මේ රට අතෑරලා යන්නේ ඒ නිසා.