රජය විසින් ගන්නා ලද වැරදි සහගත ආනයන රෙගුලාසි හේතුවෙන් මේ වනවිට වාහන 400ක් පමණ දින 20කට අධික කාලයක් රේගුව තුළ රඳවා තබාගැනීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි.
ඔහු සඳහන් කරන ආකාරයට නිෂ්පාදන වර්ෂය හෝ නිශ්චිත නිෂ්පාදන දිනය සඳහන් කිරීම අවශ්‍ය වීම නිසා ඒවායෙහි අනුකූලතාව ලබාගැනීම දුෂ්කර වී තිබීම මෙලෙස එම වාහන නිදහස් කරගැනීමට බාධා එල්ලවීමට හේතුවක් වී තිබේ.
මෙම ප්‍රමාදයත් සමග එකතු වන ප්‍රමාද ගාස්තු අවසානයේදී වාහන මිල ඉහළ යෑමට හේතුවක් වන බව පෙන්වා දෙන ඒ මහතා, වාහනයක මිල රුපියල් 40,000 සිට 50,000 ක පමණ අගයකින් ඉහළ යා හැකි බවටද අනතුරු අඟවයි.
මේ හේතුවෙන් ගැනුම්කරුවන් අධෛර්යමත් විය හැකි බව පෙන්වා දෙන මෙරෙන්චිගේ මහතා, රජය වහාම මැදිහත් වී මෙම ගැටලුවට විසඳුමක් ඉදිරිපත් කළ යුතු බවද සඳහන් කරයි.