රාජ්‍ය සේවක වැටුප් දීමනාව වැඩිවීමෙන්, පහළම සේවකයන්ටත් අවම වශයෙන් මසකට රුපියල් 55,000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් හිමිවන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිණි.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම සහ ජීවන වියදම් දීමනාව සම්බන්ධයෙන් දුර්මතයන් රාශියක් පැතිරෙමින් පවතින බවත්, කැබිනට් මණ්ඩලය විසින් ගනුලැබූ තීරණය වැරදි ආකාරයෙන් සමාජගත වේ නම් එය නිවැරදි කිරීම තමාගේ යුතුකමක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක වශයෙන් ජනතාවට වැදගත් කැබිනට් තීරණ තමා ප්‍රකාශ කරන බවත් එහෙත් ඇතැම් කැබිනට් තීරණ නිවැරදිව ජනතාව හමුවට නොයන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පසුගියදා කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධක සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව තමා ඉදිරිපත්කළ බවත් එහි ප්‍රධාන කරුණු 02ක් ඇතුළත් වූ බවද හෙතෙම පැවසීය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
"සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක දීමනාවක් සංශෝධනය නොකොට වසර තුනක් පුරාවට දීම සිදු වෙනවා. දෙවනුව මූලික වැටුප සංශෝධනය වී නැතිනම් සියයට 24%ත් 25% අතර ප්‍රමාණයකින් වැඩි වෙනවා. රාජ්‍ය සේවයේ පහළම සේවකයන්ට අවම වශයෙන් මසකට රුපියල් 55,000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙනවා."