දේශීය එළවලු ගොවියා ආරක්ෂා කිරීම සඳහා රජය ගොවීන්ගේ එළවලු තොග මිලදී ගැනීමේ වැඩසටහන අද ( 11) දින ආරම්භ කරනු ලැබීය.
ඒ අනුව විශේෂ සම්මත මිලක් යටතේ දඹුල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදීම එළවලු මිලදී ගැනීම ප්‍රාදේශිය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.
රජය එළවලු මිලදී ගැනීම ආරම්භ කිරීමත් සමඟ පෞද්ගලික වෙළෙන්දෝ ද ඊට වඩා වැඩි මිල ගණන් යටතේ එළවලු මිලදී ගැනීමේ ක්‍රියාවලියක්ද දඹුල්ල ප්‍රදේශයේදි දැක ගැනීමට හැකි විය.
රජය මගින් ගොවීන්ගෙන් එළවලු කිලෝවක තොග මිල ලෙස මිලදී ගනු ලබන්නේ,
ගෝවා රුපියල් පනහකට ,බෝංචි රුපියල් අසූවකට, බීට්රූට් රුපියල් හතලිහකට, තක්කාලි 50ක, මාළුමිරිස් 80ක්, රාබු තිහක් ,නෝකෝල් 35ක් වැටකොළු හතළිහක්, බණ්ඩක්කා හතළිහක් ,පතෝල හතළිහක් ,කරවිල 50 ,පිපිඤ්ඤා 30,වට්ටක්කා 50, වම්බටු හැටක් ,බටානා හැටක්, දඹළ හැටක් ,එළබටු හැටක්, මෑ කරල් හතළිහක් ,යන මිල ගණන් යටතේ එළවළු තොග මිලදී ගැනීම සිදු කරනු ලැබීය.
එළවලු මිලදී ගැනීම රජය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගොවීන් බොහෝදෙනාගේ ප්‍රසාදය රජයට හිමි වී තිබේ . එමෙන්ම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද එළවලු මිලදී ගැනීමේ කටයුතු නිරීක්ෂණය සඳහා පැමිණ සිටියේය.
එහිදී මේ පිළිබඳව අධීක්ෂණ කටයුතු සිදුකරන හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ රජය මගින් එළවලු තොග මිලදී ගැනීමත් සමඟ පෞද්ගලික වෙළෙන්දෝ පසුගියදා ඉතා අඩු මුදලට එළවලු ලබාගත් පිරිස් ගොවීන්ගේ නිෂ්පාදන වලට ඉහළ මිලක් ලබාදී මිලදී ගැනීමේ කටයුත්ත සිදුකරන බව ය. එය රජය සහ ගොවීන් ලැබූ ජයග්‍රහණයක් බව හෙතෙම පැවසීය.
රජයේ මගින් එළවලු මිලදී ගැනීමේ ක්‍රියාවලිය කරද්දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ ව්‍යාපාරිකයින්ගේ සහයෝගය ද ඊට එක්ව තිබීම විශේෂත්වයකි. ඔවුන් ලැබෙන එළවලුවල ප්‍රමිතිය පරීක්ෂා කර බලන අයුරු එළවලු කිරා ගැනීම ගොඩගසා ගැනීම සහ විවිධ ක්රියාවන්හිදී වැඩි සහයෝගයක් ලබාදෙන අයුරු දැක ගැනීමට හැකිවිය.
ඒ අනුව එළවලු මිලදී ගැනීම් ස්ථාන දබුල්ල ගම්මුදාව ක්‍රීඩා පිටිය ,දඹුල්ල පරණ සති පොල ,විහාර භූමියේ රථගාල, පැල්වෙහෙර රජයේ ගොවිපල ,ගලේවෙල ක්‍රීඩාංගණය ,දේවහුව ගොව්ජන සේවා මධ්‍යස්ථානය, ලග්ගල සහ විල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථාන නාඋල අලුගොල්ල ගොව්ජන සේවා මධ්‍යස්ථානය යන ස්ථානවල දී එළවලු මිලදී ගැනීම ක්‍රියාත්මකව පවති .
දඹුල්ල ප්‍රාදේශිය ලේකම් පියල් ජයසූරිය මහතා කියා සිටියේ මේ වන විට අවශ්‍ය සියලු මුදල් ලේකම් කාර්යාලය වෙත ලැබී තිබෙන බවය. එළවලු මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව දඹුල්ලේ සිදුකෙරෙමින් යන බවද ප්‍රාදේශිය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස