රජය විසින් ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක දීම මෙරට දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය කෙරෙහි ප්රමුඛ අවධානය යොමු කරන බවත් ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය තුළද දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදීම ප්රමුඛ කාර්යයක් සේ අවධාරණය කර ඇති බවද අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
වසර 41ක ශ්‍රී ලාංකීය රූපවාහිනී මාධ්‍යයේ සහ ශ්‍රී ලංකා අධ්‍යාපනයේ වඩාත් පරිණාමීය සහ සුවිශේෂි මන් සලකුණක් සනිටුහන් කරමින් ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනයෙහි නිරත වන සියලු ශ්‍රී ලාංකේය දරුවන්ගේ අධ්‍යාපන කාර්යයන් වෙනුවෙන් රූපවාහිනී නාලිකා දෙකක් වෙන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවත් අතර අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
දැනට උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වයන් හමුවේ මෙරට අධ්‍යාපන ක්ෂේත්රය කිසිදු අයුරකින් පසුබෑමකට ලක් නොකොට අඛණ්ඩව පවත්වා ගැනීමත්, නිවෙස් වල සිටින සියලු ශිෂ්‍ය ප්‍රජාව දෛනිකව ඵලදායි ලෙස අධ්‍යාපන ක්‍රියාවලිය තුළ නිරත කරවීමත් මෙම අධ්‍යාපන නාලිකා පිහිටුවීමෙහි ප්රමුඛ අරමුණු වෙයි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත යටතේ දැනට ක්‍රියාත්මක අයි නාලිකාව සහ නේත්‍රා නාලිකාව ඒ අනුව එළඹෙන අප්‍රේල් මස විසි වන දින සිට අධ්‍යාපනය වෙනුවෙන්ම පූර්ණකාලීනව වෙන්කිරීමට පියවර ගෙන ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා, පන්ති කාමර අධ්‍යාපනය අභිභවමින් ලොව පුරා බොහෝ රටවල් විද්‍යුත් ඉගෙනුම, ස්වයං අධ්‍යාපනය, දුරස්ථ අධ්‍යාපනය වැනි සංකල්ප වෙත ප්‍රවේශ වී සිටින බවද තවදුරටත් මෙරට දරුවන්ට ද එවැනි සංකල්ප ආගන්තුක නොවිය යුතු බවද සඳහන් කළේය.
මතුව ඇති තත්ත්වය හමුවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්රයේ වැඩිම අපහසුතාවට ලක්ව සිටින්නේ උසස්පෙළ දරුවන් බවද පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් මාස තුනක කාලයක් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු වූ බවද සඳහන් කළ අමාත්‍යවරයා මෙම නව අධ්‍යාපන නාලිකා තුළ උසස්පෙළ දරුවන් සහ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, උසස් අධ්‍යාපන ලේකම් අනුර එදිරිසිංහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්. එන් චිත්‍රානන්ද, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.