ආර්ථික සංවර්ධනයට ආගමික සංහිඳියාව ඉතා වැදගත්
සෑම ආගමක් පිළිබඳවම කටයුතු කිරීමට උපදේශක කමිටුවක්.
යාපනය – දක්ෂිණ කෛලාශ් කේන්ද්‍ර කර ගනිමින් හින්දු ආගමික ප්‍රවර්ධන වැඩසටහනක් – ජනපති.
ආගමික සහජීවනය ඇති කරමින් රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට උතුරේ ආගමික නායකයන්ගේ ආශිර්වාදය.
ආර්ථික සංවර්ධනයට, ආගමික සංහිඳියාව ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
උතුරේ යුද්ධයෙන් අහිමිවූ ආදායම් නැවත උතුරට ලබා දීමේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිවරයා එහිදී ආගමික නායකයන්ට සිදුකළ හැකි කාර්යභාරය අතිමහත් බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (06) පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු පළාතේ සර්ව ආගමික නායකයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
උතුරු පළාතේ ආරක්ෂක හමුදාව යටතේ පවතින ප්‍රදේශවල ඇති කෝවිල් හා පල්ලි පිළිබඳ ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත්, එම ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
එසේම සර්ව ආගමික නායකයන් සහ නල්ලූර් කෝවිලේ භාරකරුවන් කැමතිනම් නල්ලූර් කෝවිලට වඩා විශාල කෝවිලක් ඉදි කිරීමට කටයුතු කළ හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ක්‍රිස්තියානි පල්ලිවල තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත් විශේෂයෙන් මඩු දේවස්ථානයේ ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මුස්ලිම් ජනතාව යුද සමයේ මෙම ප්‍රදේශ අතහැර ගිය බවත්, ඔවුන්ට නැවත පදිංචි වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජාතිවාදී සහ ආගම්වාදී ලෙස බෙදි වෙන්වීමට අවශ්‍ය නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සියලුම ජනතාවගේ අයිතින් සුරක්ෂිත කරමින් රටක් ලෙස ඉදිරියට යා යුතු බවද කියා සිටියේය.
සෑම ආගමක් පිළිබඳවම කටයුතු කිරීමට බුද්ධශාන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ උපදේශන කමිටු පත් කිරීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.
එසේම මෙරට ආගමික හා සංස්කෘතික වටිනාකම් ඉදිරියට ගෙන එමින් රටේ ආර්ථිකය ගොඩනැගීමට ඇති හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා අනුරාධපුර සහ මහනුවර කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධ ආගමික ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ඇති කිරීමට සැලැසුම් කර ඇති බවත්, හින්දු ආගමික සංස්කෘතික වටිනාකම විදාහ දක්වමින් යාපනය සහ දක්ෂිණ කෛලාශ් කේන්ද්‍ර කර ගනිමින් හින්දු ආගමික ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ඇති කිරීමට අපේක්ෂා කරන අතර ඒ පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසද උපදෙස් දුන්නේය. මෙම කටයුතු මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට මනා රුකුලක් වනු ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
උතුරු පළාතේ පවතින ආගමික එකමුතුව ආරක්ෂා කිරීමට සියලු දේශපාලනඥයන් මෙන්ම ආගමික නායකයන් ද කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරේ ආගමික සහජීවනය වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ එහි සියලු ආගමික නායකයන් සමග සාකච්ඡා කර තමා වෙත දන්වන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරියට උපදෙස් දුන්නේය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_2cd04a7c36.jpg)