කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබාදීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අමාත්‍යවරුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙක් ඉදිරිපත් කිරීමට එම පක්ෂ තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල වෙනුවෙන් වෙනමම නීතීඥවරයෙක් පෙනී සිටීමට නියමිතය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් පසුගියදා රැස්වී මෙම තීරණයට එළැඹ තිබේ.
අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් නඩු පැවැරීමේදී නීතිපතිවරයා පෙනී සිටීම සාමාන්‍ය සම්ප්රදාය වන අතර අමාත්‍යවරුන් පිරිසක් වෙනුවෙන් වෙනත් නීතිඥවරයෙක් ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය වෙයි.
යුගදවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමට පැවැරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් ආණ්ඩුවේ මතයට වඩා වෙනස් මතයක් දැරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමෙරිකානු සමාගමකට පැවැරීමට හා ගෑස් සැපයීමේ ඒකාධිකාරිය අදාළ ඇමෙරිකානු සමාගමට පැවැරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව එම තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ගොනු කර තිබේ.
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජයට අයිති කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවැරීම යුක්තිසහගත නොවන බව සඳහන් කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයන්, වෙස්ට්කොස්ට් පවර් ලිමිටඩ් හා එම සමාගමේ කොටස් පැවැරූ ඇමෙරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ.