යල කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාරයකට ලබා දෙන රුපියල් 15,000ක මූල්‍යමය සහනාධාරය එළඹෙන සතියේ සිට ගොවි ගිණුම් වෙත බැර කරන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කර සිටියේ යල කන්නයේ වී වගා කිරීම මේ වනවිට ආරම්භ කර ඇති නමුත් අදාළ ගොවීන් සම්බන්ධයෙන් වූ නිවැරදි තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු මෙම සතිය තුළ අවසන් කෙරෙන බවයි.
යල කන්නයේ වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 06ක් වන නමුත් පවතින තොරතුරු අනුව කුඹුරු හෙක්ටයාර් 25,000ක පමණක් මේ වනවිට වී වගා කටයුතු අවසන් කර ඇති බවට සඳහන් කළ කොමසාරිස් ජනරාල්වරයා, පොහොර යොදන්නේ වගා කිරීමෙන් අනතුරුව වන බැවින් කුඹුරු වගා කිරීමෙන් පසු මුල්‍යමය සහනාධාරය ලබා දීමට තීරණය කළ බව පැවසීය.