පිළියන්දල- මහරගම ප්‍රධාන බස් මාර්ගයේ නීලම්මහර මංසන්ධියේ (18) වන දින අලුයම 12.10 ට පමණ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් (19) වැනි වියේ පසුවූ තරුණයින් දෙදෙනෙක් මියගිය බව මහරගම පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල පාර, ඇරව්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එච්.ජී මෙත්සිත් නැමැති අය සහ ඇරැව්වල පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කවිඳු රණසිංහ නැමැති තරුණයන් දෙදෙනා බවත් පොලිසිය පවසයි.
මියගොස් එක් යතුරුපැදියක පිටුපස ගමන් ගත් පසුපැදිකරු බරපතල තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවත් මහරගම පොලිසියේ රථවාහන අංශය පවසයි.
පිළියන්දල - මහරගම ප්‍රධාන බස් මාර්ගයේ ඇරව්වල සිට මහරගම දෙසට පැමිණි මිය ගිය තරුණයන් දෙදෙනා අරගත් යතුරුපැදිය මහරගම දෙස සිට එම මාර්ගයේම ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණ නීලම්මහර පාරට හැරවීමට උත්සහ කළ අවස්ථාවේදී තරුණයන් දෙදෙනා රැගත් යතුරුපැදිය සමග ගැටීමත් සමග තරුණයින් දෙදෙනා අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර් දහයක් පමණ ඉදිරියට විසිවී ගොස් රාත්‍රි කාලයේ ධාවනය අවසන්ව නවතා තිබූ පිළියන්දල- මහරගම පෞද්ගලික බස් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවත් පොලිසිය පැවසීය.
අනතුර සිදුවීමත් සමග ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබූ බවත් පොලිසිය පැවසීය.
අනතුරට පත් වූ යතුරුපැදි පැදවූ රියදුරන් එම අවස්ථාවේදී මත්පැන් පානය කර සිටියේද යන්න පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් කැඳවා ඇති බවත් ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කරන විට එක් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව සිටි බවත් අනෙක් තරුණයා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව දැනගන්නට ලැබූනු බවත් විමර්ශන සිදුකරනු ලබන පොලිස් නිලධාරින් පැවසීය.
පෞද්ගලික බස් රථයේ රියදුරුවරයාද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් අනතුරට ලක් වූ යතුරුපැදි වලට ඉතා බරපතළ ලෙස හානි සිදුව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
රාත්‍රී කාලයේ මහාමාර්ගය භාවිතා කරමින් නීති විරෝධී අයුරින් මහජනයාට පීඩාකාරී අන්දමින් විවිධ වර්ගයේ යතුරු පැදි ධාවන තරඟ පවත්වන බවට කිහිපවිටක්ම පැමිණිලි ලැබීමත් සමඟ එවැනි යතුරු පැදි විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කළද නිතර නිතර එම ක්‍රියාවම සිදු කිරීමට යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන බවත් පොලිසිය පවසයි.