බෞද්ධ ආගමට අපහාස වන පරිදි " මෝඩාභිමානය " නැමැති වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කළ ජයනි නටාෂා එදිරිසූරිය නැමැත්තිය අද (28දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව යාමට පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපළ දී කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ උසස් නිලධාරීවරයෙකු සනාථ කළේය .
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජයනි නටාෂා එදිරිසූරිය අද අලුයම 01.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන පරිශ්‍රයේ සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා රැදී සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මේ වනවිට මෙම කාන්තාව කොළඹ , නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .