ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළකාලමින් කොළඹ දිසා අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබියදීත් ඒ මහතා එම ධුරයේ කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාසයක් කළ බව සඳහන් කරමින් මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් ජූලි 10 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට නියම කරමින් අභියාචනාධිකරණය අද (30දා) නොතීසි නිකුත් කළේය.
පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නොතීසි නිකුත් කළ අභියාචනාධිකරණය අදාළ නොතීසිය මෛත්‍රීපාල සිරිසේන මහතාට බාර දෙන ලෙස පෙත්සම්කරුගේ නීතිඥවරයාට නියම කළේය.අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණ.ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වළකාලමින් කොළඹ දිසා අධිකරණය අප්‍රේල් 24 වැනිදැ අතුරු නියෝගයක් නිකුත් කර තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහතා රැස්වීමක් කැඳවමින් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කරමින් පසුගිය මැයි 12 වැනිදා පක්ෂයේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කර ඇතැයි පෙත්සමේ සඳහන් කර ඇත.
නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වළකාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබියදී ඔහු එම ධුරයේ කටයුතු කිරීම සහ රැස්වීම් කැඳවීම අධිකරණයට කරන ලද අපහාසයක් බව සඳහන් කරන පෙත්සම්කරු ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා මෛත්‍රීපාල සිරිසේන මහතාට සුදුසු දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටී.පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ දිනේෂ් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටියේය