හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කර තිබූ වාරණ නියෝග හතරක් ලබන 12 වැනිදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (29) නියම කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරය දැරීම, එහි උප සභාපති, ජාතික සංවිධායක හා භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ නිලධාරීන් එම ධූරවලින් ඉවත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ වාරණ නියෝග මෙලෙස දීර්ඝ කෙරිණි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරය දැරීම ව්‍යවස්ථානුකූලව නීති විරෝධී බව පවසමින් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවරූ නඩුවකට අදාළව එක් වාරණයක්ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්තුරු පැවරු නඩු තුනක් ප්‍රකාරවද ඉතිරි වාරණ නියෝග තුනද නිකුත් කර තිබිණි.
මෙම නඩු හතරෙහි වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සාරතී දුස්මන්ත, නිමල් සිරිපාලද සිල්වා, හා ෆයිසර් මුස්තාපා මහත්වරුන් නම් කර තිබිණි.
මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පාර්ශවය පසුගිය මාර්තු මස 30 වැනිදා කැඳවා තිබු නීති විරෝධී විධායක රැස්වීමකදී පක්ෂයේ භාණ්ඩාගාරික ජාතික සංවිධායක හා ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු ඉවත් කිරීමට ගත් තීරණය බල රහිතකරන ලෙස ඉල්ලා මෙම නඩු පවරා තිබිණි.
වාරණ නියෝග වලට එරෙහිව වගඋත්තරකරුවන්ගේ විරෝධතා ගොනු කිරීමට දින ලබා දෙන්නැයි කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුව අදාළ වාරණ නියෝග ලබන 12 වැනි දින දක්වා යළි දීර්ඝ කළ විනිසුරුවරයා එදින විරෝධතා ගොනු කිරීමට නියම කළේය.