පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්රහාරයන් එල්ල කරන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදී, එම ප්‍රහාර වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියම වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන් තමන්ට ගෙවීමට නියම කළ වන්දි මුදල්වලින් මේ වන විට ගෙවා ඇති මුදල් පිළිබඳ සවිස්තර වාර්තාවක් නීතිපතිවරයා ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන් හානිපූරණ කාර්යාලයට කරන ලද වන්දි ගෙවීම් සම්බන්ධයෙන් එම කාර්යාලයේ තොරතුරු පදනම් කරගෙන නීතිපතිවරයා මෝසමක් මාර්ගයෙන් මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ගෙවීමට නියම කළ රු. කෝටි 10ක වන්දි මුදලින් රු. කෝටි 1 1/2ක මුදලක් ගෙවා ඇත. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ගෙවීමට නියම කළ රු. කෝටි 05ක වන්දි මුදලින් රු. ලක්ෂ 10ක මුදලක් ගෙවා තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ගෙවීමට නියම කළ රු.කෝටි 7 1/2ක වන්දි මුදලින් රු. 17,25,588 මුදලක් ගෙවා ඇත.රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට නියම කළ රු. කෝටි 7 1/2ක මුදලින් රු. ලක්ෂ 41ක මුදලක් ගෙවා තිබේ.
හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ගෙවීමට නියම කළ රු. කෝටියක මුදලින් රු. ලක්ෂ 50ක මුදලක් ගෙවා ඇත. ඊට අමතරව රජය වෙනුවෙන් ගෙවිය යුතු රු. කෝටියක වන්දි මුදල මහා භාණ්ඩාගාරය විසින්ද ගෙවා තිබේ.
මෙම මුදල් හානිපූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන්ගේ අරමුදලට ගෙවා ඇතැයි නීතිපතිවරයා මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කළ දැනුම් දීමේ සඳහන් වේ.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්වකරුවන් 12ක් ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ අගවිනිසුරුවරයා ඇතුළු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට රුපියල් කෝටි 31කට අධික වන්දි හිටපු ජනාධිපති ඇතුළු වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදලින් ගෙවීමට නියම කරන ලද්දේ පසුගිය ජනවාරි මස 12 වැනිදාය.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්වකරුවන් 12ක් ඉදිරිපත් කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති ඇතුළු වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදලින් වන්දි ගෙවීමට නියම කළේය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්මා මහත්මීන්ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවෙති දීර්ඝ විභාගයකින් අනතුරුව අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණ.