දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා මේ වසරේ ජනවාරි 01 වන දින සිට අප්‍රියෙල් මස 14වන දින දක්වා කාලය තුළ දුම්රිය පීළි පැනීම් 30 ක් සිදුව තිබෙන බවත්, මේ නිසා දුම්රිය මර්ගවලටත් හානි සිදුව තිබෙන බවත් දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
මෙම පීළි පැනීම්වලින් 18 ක් මගී දුම්රිය පීළිපැනීම් බවත්, ඉතිරි 12 දුම්රිය අංගණවල පීළි පැනීම් බවත්, මගී දුම්රිය පීළිපැනීමට ලක් වූ අවස්ථාවල මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්වන බවත්, අදාළ මාර්ගයේ අනෙකුත් දුම්රිය ධාවනයට බාධා සිදුවන බවත් වෘත්තීය සමිති පෙන්වා දෙති.මෙම කාලය තුළ අවසන් වරට මේ මස 13 වන දින දකුණු කළුතර ප්‍රදේශයේදී දුම්රිය පීළිපැනීමක් සිදුවූ බවත්, මේ නිසා දුම්රිය ගමනාගමනයට යම් බාධා සිදුවූ බවත් දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
අඩු බරකින් යුත් දුම්රිය එංජින් ධාවනය කිරීමට මෙරට බොහෝ දුම්රිය මාර්ග සකස් කර ඇතත් තාක්ෂණයේ දියුණුවත් සමග සකස් කරන දුම්රිය එංජින් වැඩි බරකින් යුත් බවත්, වැඩි බරකින් යුත් දුම්රිය එංජින් ධාවනය වන විට සමහර ස්ථානවල පීළි දෙක අතර පරතරය වෙනස් වීම සිදුවන බවට වාර්තා වන බවත් පෙන්වා දෙයි.
ගෙවීගිය කාලයේදී වැඩි වශයෙන් පීළිපැනීම් වාර්තා වන්නේ උඩරට මාර්ගයේ හා මුහුදු බඩ මාර්ගයෙන් බවත්, මේ නිසා දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු කිරීම සිදුනොකළ හොත් ඉදිරියේදී පීළිපැනීම් ඉහළ යා හැකි බවත්, බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවත් එමබ සංගම් පෙන්වා දෙයි.