සිය බිරිඳ පිළිකාවකට ගොදුරුවීම හේතුවෙන් අසරණ සිටින පස්දරු පියෙකු වන ගලේවෙල, මීගහහේන පදිංචි කේ. ජී. නිස්සංක කොඩිතුවක්කු මහතා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.
ඔහුගේ බිරිඳ වන එම්.ජී. පද්මිණි (44) මහත්මිය මේ වනවිට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇගේ කටයුතු පිළිබඳ සොයා බැලීමට සිදුවීම නිසා ස්ථිර රැකියාවක් නොමැති සිය දරුවන්ගේ කටයුතු සිදු කිරීමට අපහසු තත්ත්වයට ඔහු පත්ව සිටියි. මේ හේතුවෙන් තම දරුවන් පස්දෙනාගේ පාසල් ගමන මේ වනවිට අතරමග නැවතී තිබේ.
මෙම පවුලේ වැඩිමහල් දරුවා වන ක්‍රිශාන්ත මයෝද් 16 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ද මේ වනවිට සිය පියාට ශක්තියක් වෙමින් කුලී වැඩට යන බව කියයි. ඔහුගේ සෙසු දරුවන් වන දිල්ෂා ශේවින්දි (14), මනිෂා රසංගි (12), කවිශ්ක මනෝජ් (10), බාල දරුවා වන නිමේෂා මධුවන්ති (08) හැවිරිදි වියේ පසු වෙති.
ඉරීගිය ටකරන් කැබලිවලින් සිය නිවසේ වහලය හොවාගෙන සිටින මෙම පවුලේ උදවියට අඩුම තරමේ වැසිකිළි කැසිකිළි පහසුකම් හෝ නොමැත.
තමන් පත්ව තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ කේ.ජී. නිස්සංක කොඩිතුවක්කු මහතා මෙසේ පැවසීය.
&මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. කුලී වැඩ කරලා තමයි මේ දරුවන් ජීවත් කරවන්නේ. දැන් මාස දෙකකට ඉහතදී මගේ බිරිඳගේ කකුල් දෙක රිදෙන්න ගත්තා. බෙහෙත් ගත්තා හැමතැනින්ම දඹුල්ල රෝහලට අරන් ගියාට පස්සෙ එයාව පරීක්ෂණවලට කියලා පොළොන්නරුව මහ රෝහලට මාරු කරලා යැව්වා. පස්සේ එතනදි වෛද්‍ය වාර්තාවලින් කිව්වා බඩේ පිළිකාවක් තියෙනවා කියලා. අනතුරුව දඹුල්ල රෝහලට එව්වා. ඉන් පසුව දඹුල්ල රෝහලේ සිට මහනුවර රෝහලට මාරුකිරීමෙන් අනතුරුව එහිදී ඔපරේෂන් එකක් සිදු කිරීමෙන් අනතුරුව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළා.
දොස්තර මහත්තයා කිව්වේ පිළිකාව හොඳටම වර්ධනය වෙලා කියලා. මට හැමදාම එයාව බලන්න යන්න විදිහක් නෑ. කුලී වැඩක් කරන්න ඕන දරුවන්ට කන්න බොන්න දෙන්න. එයා රෝහලට වෙලා අඬනවා බලන්න එන්නේ නෑ කියලා. මම දවස් දෙක තුනකට සැරයක් ගිහිල්ල බලල එනවා.*
මේ සැරේ පොත්පත් හා අනෙකුත් දේවල් අරන් දෙන්න විදියක් නැති නිසා දරුවන් පස්දෙනාටම පාසල් යන්න විදිහක් නැහැ. එයාල ගෙදර වැඩක් කරගෙන ඔක්කොමලා හැඬූ කඳුළෙන් තමයි ඉන්නේ. රෑට කෑවොත් අපි දවල්ට කන්නේ නැහැ. දවසකට කොහොමහරි සම්බෝලයි බතුයි හරි දරුවන්ට කන්න දෙනවා එක වේලක්හරි.*
මෙම අසරණ පවුලට උදවු උපකාර කළ හැකි යම් පරිත්‍යාගශීලියෙකු වෙතොත් ඒ සඳහා වන පරිත්‍යාග කේ.ජී. නිස්සංක කොඩිතුවක්කු මහතා නමින් මහජන බැංකුවේ, ගලේවෙල ශාඛාවේ 115 200 1000 37 224 දරන ගිණුම් අංකය යටතේ විවෘත කොට ඇති ගිණුමට බැර කළ හැකිය.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 071- 2714724 යන ලිපිනයෙන් හෝ කේ.ජී. නිස්සංක කොඩිතුවක්කු අංක 155 සී. මිගහහෙන යටිගල්පොත්ත,ගලේවෙල යන ලිපිනයෙන් ලබාගැනීමේ හැකියාව පවතී.
එස් කරුණාරත්න