අවස්ථා ගණනාවකදීම තමන් වහන්සේ බන්ධනාගාරගතව සිටියද ඒ කිසිදු අවස්ථාවකට වඩා මේ වතාවෙහිදී බන්ධනාගරයෙහිදී දඩුවම් විඳීමට සිදුවූ බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කළහ.
අද (27දා) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ සඳහන් කළහ.
“පසුගිය නොවැම්බර් මාසයේ සිට රෝග ගණනාවකින් පීඩා වින්දා. රෝගියෙකු ලෙස සිටීම නිසා බන්ධනාගාර වෛද්‍යවරයා විසින් නිර්දේශ කර තිබුණා දිනකට එක් වේලක් සඳහා ආහාර පැකට්ටුවක් ගෙන එන්න කියලා.එම බත් වේලවත් ගැනීමට අවස්ථාවක් දුන්නේ නැහැ.
මට දැනගන්න ඕනෑ මේක ආණ්ඩුවේ තීරණයක්ද එහෙම නැත්නම් බන්ධනාගාර නිලධාරීන්ගේ තීන්දුවක්ද කියලා. මගේ ඉල්ලීම තමයි දෙකයි පනහේ බාල වැඩ කරන්නේ නැතුව බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්න උදුවියට බිස්කට් ටිකක්, කිරිපිටි ටිකක් ගන්න දෙන්න කියලා.මේක ආණ්ඩුවේ ප්රතිපත්තියක්ද.
බිස්කට් එකක්වත් ගේන්න බැහැ. නීති රීති.රෝගීන්ට ඉන්සියුලින් ගහනවා. හැන්දෑවට දෙනවා රතු අලත් එක්ක බත්. හැබැයි බිස්කට් කන්න බෑ. ගොන් ලොජික්.
මගේ ඉල්ලීම තමයි, ඥානසාර හාමුදුවෝ ඇප අරගෙන අවා. කරුණා කරලා බන්ධනාගාර රෝහලේ අහිංසක මිනිස්සුන්ට අවම තරමින් කිරි ටිකක්, පිටි එකක්, සීනි ටිකක් දෙන්න ගේට්ටු අරින්න කියලා.
මගේ පපුව පිච්චිලා ගියා එක මොහොතක. සිරකරුවෝ හොඳයි. උන්ට තියෙන දෙවල් බෙදා හදා ගන්නවා. ගහලා තියෙනවා මහලොකුවට සිරකරුවොත් මානුෂ්යයෝ කියලා. බෝඩ් තියෙනවා සුබ සාධන සංගම් තියෙනවා. ඒත් කරන කෙණ්ඩියක් දැක්කේ නැහැ.”