කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්හි අධ්යක්ෂවරියන්ගේ සංඛ්‍යාව 2024 වර්ෂයේදී පැවති සියයට 8.7ක අගයේ සිට 2025 වර්ෂයේදී සියයට 13.4ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, ශ්‍රී ලංකාව පුරා කළමනාකරණ සහ අධ්යක්ෂ මණ්ඩල තනතුරුවල කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා වන කැපවීම ඒ හරහා පිළිබිඹු වන බවත් ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) පවසයි.
මෙරට කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම සහ නායකත්වය ඉදිරියට ගෙනයාම සඳහා ඔවුන් සතු කැපවීම නැවත තහවුරු කරමින්, කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ගෝලීය හවුල්කරුවන් සමග එක්ව, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ආරම්භක වෙළෙඳපොළ සීනුව නාද කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මෙම තොරතුරු අනාවරණය කරන ලදී.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන මෙම වාර්ෂික වැඩසටහන හරහා තිරසාර සංවර්ධනයක් සඳහා වන කාන්තාවන්ගේ ආර්ථිකමය සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම මෙහි සුවිශේෂී අරමුණ වී ඇත. කෙසේ වෙතත්, අධ්යක්ෂ මණ්ඩලවල අවම වශයෙන් සාමාජිකයන් පස් දෙනෙකු සිටිය යුතු බවට කොළඹ කොටස් හුවමාරුව නිකුත් කළ නියෝගය මීට බොහෝ සෙයින් බලපානු ලැබ තිබේ. එය ස්වාධීන අධ්යක්ෂවරුන් පත් කිරීමට හේතුවී ඇති අතර, මෙහිදී වැඩි කාන්තා නියෝජනයක් වරලත් ගණකාධිකාරී අංශයෙන් පෙන්නුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අධ්යක්ෂ මණ්ඩල නායකත්වයේ ධනාත්මක ප්‍රගතියක් දක්නට ලැබුණද, කාන්තාවන් රැකියාවලට සම්බන්ධ වීම වළක්වන ප්‍රධාන බාධක ඉවත් කිරීම සඳහා ව්‍යාපාර සහයෝගීතාව දැක්විම සහ ඊට කැපවීම මෙකී ප්‍රගතියට අවශ්‍ය කරන්නක් බව කියැවේ. සමාන වැටුප් සහතික කිරීම, ළමා සුරැකුම් ප්‍රවේශය පුළුල් කිරීම සහ ගෞරවනීය සේවා ස්ථාන ස්ථාපිත කිරීම මීට ඇතුළත් වේ.
"ශ්‍රී ලංකාව කාන්තාවන්ගේ අධ්යක්ෂ මණ්ඩල නායකත්වයේ ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා තිබෙනවා. නමුත් කාන්තාවන් සැබවින්ම බලගැන්වීම සඳහා සියලුම ව්‍යාපාරික ක්ෂේත්‍ර හරහා නායකත්ව භූමිකාවන් කරා ඔවුන් ළඟා කරවීම වෙනුවෙන් අප ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි." යනුවෙන් ලෝක බැංකුවේ සහ IFC මෙරට කළමනාකරු ගෙවෝර්ග් සර්ග්ස්යාන් පැවසීය.