රජයට අයවිය යුතු රුපියල් කෝටි 600 කට අධික බදු මුදල් නොගෙවා පැහැර හැර ඇතැයි කියන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ඇතුළු මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් පහක් ලබන 30 වැනිදාට පෙර පැහැර හැර ඇති බදු මුදල් නොගෙවුවහොත් එම මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13දා) දැනුම් දුන්නේය.
පැහැර හැර ඇති බදු මුදල් නොගෙවුවහොත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමට අමතරව මෙලෙස බලපත්‍ර අත්හිටුවන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ‘පින්ලේ ඩිස්ටිරිස්‘, ‘සයින ජී ඩිස්ටරිලිස්’, ‘හිඟුරාන ඩිස්ලිරිස්’ සහ ‘රොයල් ඩිස්ට්රලිරිස්‘ යන සමාගම්වලය.
බදු ගෙවීම් පැහැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් ගෙවීම් පැහැර ඇති බදු මුදල් අයකර ගැනීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිවිල් ක්රියාකාරිකයන් පිරිසක් ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා මේ බව දැනුම් දුන්නේය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන පීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත පුනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසූරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණ.
සිවිල් සමාජ ක්‍රියාකරුවකු වන සංජය මහවත්ත මහතා ඇතුළු පිරිසක් ගොනු කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, ‘පින්ලේ ඩිස්ටිරිස්‘, ‘සයින ජී ඩිස්ටරිලිස්’, ‘හිඟුරාන ඩිස්ලිරිස්’ සහ ‘රොයල් ඩිස්ට්රලිරිස්‘ යන සමාගම් ඇතුළු පිරිසන් නම් කර ඇත.
පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී වගඋත්තරකාර සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා කරුණු දක්වමින් වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් ලබන 30 වැනිදාට පෙර මේ වන විට ගෙවීම් පැහැර හැර ඇති බදු මුදල් නොගෙවුවහොත් එම මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන්නේ යැයි කීය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් ලබන වසරේ ජනවාරි 22 වැනිදා යළි කැදවීමට නියම කෙරිණ.වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා පෙනී සිටියේය.