කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම්දීම නිසා ඇති වී ඇති නෛතික ගැටලුව විසඳීම සදහා නීතිපතිවරයා හමුවී නීති උපදෙස් ලබාගත යුතු බවට, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පෙන්වා දීමත් සමග, ඒ සඳහා වහා ක්‍රියා කරන ලෙස, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ (13) උපදෙස් ලබා දුන්නේය.
අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු අශෝක ප්‍රියන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම දැනුම්දීම සිදුකෙරිණි.
මෙහිදී රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දරමින් පළාත්පාලන මැතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීමට නොහැකි වුවද, අපේක්ෂත්වය ලබා ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ කටයුතු කිරීමට නෛතික බාධාවක් නැති බැවින් තවදුරටත් මුජිබර් රහුමාන් මහතාගේ නම නගරාධිපති අපේක්ෂකයෙකු වශයෙන් පවතින බවයි.
පවතින මැතිවරණ නීතිය අනුව අනෙකුත් අපේක්ෂකයන්ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවකට පවා සහභාගී වීමට නොහැකි තත්ත්වයක් තුළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මෙම අවස්ථාව හිමිවීමෙන් මේ හරහා 75,000කට ආසන්න අනෙකුත් සියලු පළාත් පාලන අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවන බවට ඔවුන් කරුණු ඉදිරිපත් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එබැවින් මෙය නරක පූර්වාදර්ශයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.