එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වාසය කරන නිවසකට ඇතුළු වූ මීයෙකු සම්බන්ධයෙන් දෙදෙනා අතර වූ බහින් බස්වීමක් දුරදිග යන අතරතුරදි එක් වරම ක්ලාන්ත වී ඇද වැටුණු බාල සහෝදරයා ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බත්තරමුල්ල තලංගම දකුණ අංක 381 / සී, හි පදිංචි එගොඩවත්ත ආරච්චිගේ අනුර කිත්සිරි නමැති (59) හැවිරිදි විශ්‍රාමික ගණකාධිකාරීවරයෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන අතර වැඩිමහල් සහෝදරයා අවිවාහකව එකම නිවසේ වාසය කරන අතර අද (19) උදෑසන දියණියන් දෙදෙනා සහ බිරිද පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා නිවසින් බැහැරට ගිය අවස්ථාවේදී නිවසේ රැඳී සිට ඇත්තේ මෙම සහෝදරයන් දෙදෙනා පමණක් බව පොලිසිය කියයි.
මේ අතරතුරදි වැඩිමහල් සහෝදරයා රැඳී සිටින කාමරයට ඇතුළු වී සිටි මීයෙකු එළවා දැමීමේදී එම සත්වයා යාබදව පිහිටි බාල සහෝදරයාගේ කාමරයට ඇතුළුවී ඇති බවත් පසුව ඒ සම්බන්ධයෙන් වැඩිමහල් සහෝදරයාට දෝෂාරෝපණය කරමින් දෙදෙනා අතර බහින්බස්වීමක් හටගෙන ඇති බව පැවසේ.
එම අවස්ථාවේදී වැඩිමහල් සහෝදරයා පවසා ඇත්තේ " මල්ලී උඹ හාර්ට් ඇටෑක් එකක් තියෙන මිනිහෙක් නේද කට වහගෙන එළියට පලයන් මම උඹලගේ කාමරයට එළවපු මීයෙක් නෑ " යනුවෙනි.
එහෙත් බාල සහෝදරයා දිගින් දිගටම වැඩිමහල් සහෝදරයා සමඟ බහින්බස්වීමක් ඇතිකරගන්නා අවස්ථාවේදී එක් වරම ඔහු ක්ලාන්ත වී බිම ඇද වැටී ඇති අතර පසුව වැඩිමහල් සහෝදරයා සහ අසල්වාසීන් එක්ව ප්‍රතිකාර සඳහා ඔහුව තලංගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි. ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය ගොස් ස්ථානීය පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළාය.
පසුව මියගිය පුද්ගලයාගේ බිරිඳ පැමිණ පවසා ඇත්තේ වැඩිමහල් සහෝදරයා තම සැමියාට පහරදී මෙසේ මිය යන්නට ඇති බවත් මරණය සැක සහිත බවත්ය. ඒ අනුව මෘත දේහය පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු මහේස්ත්‍රාත් පරීක්ෂණයක් හරහා සිදුකරන ලෙසට හදිසි මරණ පරීක්ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පොලිසියට නියෝග කළ අවස්ථාවේදී පැමිණ සිටි තවත් ඥාති පිරිසක් මරණය සක සහිත නොවන බව පවසා ඊට බිරිඳ ද කැමති කරවාගෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයකින් තොරව ඉදිරි විමර්ශන සිදුකිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තරංගම පොලිසියේ පොලිසැරයන් (35397) සිසිර නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න