මිහින්තලා පූජා භූමිය තුල සිදු කරන සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා දීම අඛණ්ඩව සිදු කල යුතු බවත් දැවැන්ත භූමි භාගයක් පුරා විසිරී ඇති ආරාම සංකීර්ණ ශිලා ලේඛන ඇතුළු පුරා විද්‍යාත්මක නටබුන් සුරක්ෂිත කොට මිහින්තලා පුදබිම වන්දනා මාන කිරීමට පැමිණෙන උවැසි උවැසියන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සිවිල්ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ මැදිහත්වීම නිරන්තරයෙන් ලබා දිය යුතු බව අවධාරණය කරන බව සදහන් කරමින් මල්වතු අස්ගිරි මහායනායක හිමිවරුන් විසින් තම අස්සනින් යුතු ලිපියක් අද (18දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ.
මිහින්තලා පුදබිම යනු සමස්ත ශ්‍රී ලාංකේය උරුමයක් පමණක් නොව එය සමස්ත ලෝක වාසී බෞද්ධ මහජනතාව වෙත උතුම් බෞද්ධ දර්ශනයේ ස්පර්ශය තිළිණ කල ථේරවාද මහා විහාරීය බෞද්ධ සම්ප්රදායේ කේන්ද්‍රස්ථානය බවද එම ලිපියේ සඳහන් වේ. ඒයින් මෙම උතුම් පුණ්‍ය භූමියේ අතීත ශ්‍රී විභූතිය සුරක්ෂිත කොට මතු පරපුර උදෙසා දායාද කිරීමට ජනාධිපතිතුමන් ඇතුළු සියලු වගකිවයුතු අංශ කටයුතු කළ යුතු බව හිතාධ්යාංශයෙන් යුතුව දන්වා සිටින අතරම සිය යුතුකම් හා වගකීම් පිළිබඳව මනා අවබෝධයකින් මිහින්තලා පුදබිමේ සුරක්ෂාව හ සංවර්ධනය උදෙසා ව්‍යාවෘත වීමට සියලු පාර්ශ්වයන් කටයුතු කළ බව ද මෙහිලා අවධාරණය කර සිටින බවද ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
"සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්මාශෝක අධිරාජයාගේ උදාරථර ධර්ම විජය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස මහාමහින්ද මහරහතන් වහන්සේගේ ආගමනයත් සමග ලක්දිව සම්බුද්ධ දර්ශනයේ ආලෝකයෙන් ප්රභාවිත වන්නට විය. එතැන් පටන් මහා විහාර ථේරවාද සම්ප්රදායේ ජම්ම භූමිය ලෙස සම්භාවනාවට පාත්රවන මිහින්තලා පුදබිම ලාංකේය බෞද්ධ සංස්කෘතියේ තිඹිරිගෙයයි.
දෙස් විදෙස්හි පතල ලාංකේය සංස්කෘතික ප්‍රෞඩත්වය ලොවට විදහා දක්වන මෙම පුණ්‍ය භූමිය පරපුරෙන් පරපුරට රැක ගනු වස් රාජ දරුවන් මෙන්ම, මහා මාත්යආදීන් විසින් සිදු කරන ලද අසිරිමත් පූජාවන් පිළිබඳව ඓතිහාසික තොරතුරු වංශකතා වන්හි අන්තර්ගත වේ.
ථෙරවාදී ධර්ම කෝෂ්ටාගාරය ලෙස චිරම් සම්භාවිත ලාංකේය බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවයේ ප්‍රෞඩත්වය ලොවට විදහා දක්වන මිහින්තලා පුදබිම, හුදු සිද්ධස්ථානයක් හෝ පෞරාණික ආරාම සංකීර්ණයක් නොව එය මෙරට බෞද්ධ උරුමයේ න්‍යෂ්ටිය මෙන්ම ලාංකේය භික්ෂු සාසනයේ ප්රභවස්ථානයයි. බුද්ධ ශාසනය සුරක්ෂිත කොට ප්‍රයෝජනය කිරීමේ වගකීමෙන් බැඳී සිටින ශ්‍රී ලංකා ජනරජය මෙම ඓතිහාසික උරුමය සුරැකීමෙහිලා අප්‍රමාදීව ව්‍යාවෘත විය යුතු බව අපි තරයේ විශ්වාස කරමු. "
