නුගේගොඩ මිරිහාන ඇඹුල්දෙණියෙහි පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ ඊයේ (31) රාත්‍රියේ පැවති විරෝධතාව අතරතුර බස් රථ සහ වාහන රැසකට ගිනි තැබූ බව කියන පුද්ගලයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර එක් කාන්තාවක්ද සිටින බවත් සඳහන්.
එමෙන්ම මෙම ගැටුමෙන් තුවාල ලැබූ දස දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවත් ඒ අතර පොලිස් නිලධාරීන් පස් දෙනෙකු සිටින බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද රොහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ රාත්‍රියේ ඇතිවූ මෙම කලහාකාරි සිද්ධිය අතරතුර පොලිස් බස් රථයක්, යුධ හමුදා බස් රථයක්, ජීප් රථයක්, ත්‍රිරෝද රථ කිහිපයක් සහ යතුරු පැදි කිහිපයක් විරෝධතාකරුවන් විසින් ගිණිතබා විනාශ කර තිබේ.
එමෙන්ම මෙම ගැටුමත් ආරම්භයත් මග කිරිබත්ගොඩ නුවර පාරේ දළුගම ආසන්නයේ නුවර පාර අවහිර කරමින් ප්‍රදේශවාසීන් විසින් මාර්ගය හරස් කර ගිණි තැබීම හේතුවෙන් නුවර පාර වාහන ධාවනය විකල්ප මාර්ග හරහා යොමු කිරීමට පොලීසිය විසින් පියවර ගත් අතර එම සිද්ධිය පාලනය කිරීම සඳහා පොලීසිය කටයුතු කරන අයුරුද දක්නට ලැබුණි.
මෙම විරෝධතා උත්සන්න වීමත් සමග පොලීසිය විසින් කොළඹ උතුර, දකුණ, මධ්‍යම හා නුගේගොඩ යන පොලිස් බල ප්‍රදේශ මෙන්ම කැළණිය පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පැනවූ අතර පසුව එම ඇඳිරිනීතිය අද අළුයම 5.00ට ඉවත් කිරීමට කටයුතු කරන ලදි.
එමෙන්ම මේ වන විට නුගේගොඩ - මහරගම මාර්ගයේ ඇඹුල්දෙණිය හන්දිය ආසන්නයෙන් මාර්ගය වසා ඇති අතර ඒ මාර්ගයට ඇතුළු විය හැක්කේ පාසල් වෑන් රථවලට පමණක් බවද පොලීසිය ප්‍රකාශ කරයි.
නුගේගොඩ මිරිහාන පැවති විරෝධතාවය සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර ඔවුන් සඳහන් කරනුයේ සංවිධානාත්මක අන්තවාදී පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් මෙම විරෝධතාව පවත්වා ඇති බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් සිය නිවේදනයේ දක්වා ඇත්තේ යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කර කලහකාරී තත්ත්වයක් ඇතිකල බවයි.
එමෙන්ම මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර බොහෝ දෙනෙක් සංවිධානාත්මක අන්තවාදීන් බවට තහවුරු වී ඇතැයිද ඔවුන් අරාබි වසන්තයක් මෙරට ඇති කරමු යන මැයෙන් හඬ නගමින් උද්ඝෝෂණය මෙහෙයවා තිබෙන බව මාධ්‍ය අංශය නිකුත් කල නිවේනයෙහි දැක්වෙයි.
එමෙන්ම ඉතා සැලසුම්කාරී ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව කෝපගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කළහකාරී තත්ත්වය සිදුකර ඇති බවට අත්අඩංගුවට පත් පිරිසෙන් අනාවරණය කරගත් බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.