මියන්මාරයේ සයිබර් අපරාධ කදවුරක බලහත්කාරයෙන් රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු බේරා ගෙන 12/16 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.
ඔවුන් එම කදවුරෙන් මුදා ගෙන තායිලන්තය වෙත රැගෙන විත් , එරට බැංකොක් නුවර ගුවන් තොටුපොළේ සිට 12/16 දින පස්වරු 04.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මේ සදහා මුල් වී ක්‍රියා කළ මාළිගාවිළ අස්සජි හිමියන් ද මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කළ එම ස්වාමීන්වහන්සේ මෙසේ පැවැසූහ,
"මම තනි පුද්ගලයෙකු වශයෙන් මියන්මාරයේ එම කදවුරට ගිහිල්ලා , දින 14 ක දැවැන්ත උත්සාහයකින් පසුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස බේරා ගෙන තායිලන්ත දේශසීමාව වෙත රැගෙන විත් භාර දුන්නා . ඒ විතරක් නෙමෙයි ඔවුන් අතර සිටි නේපාල ජාතිකයන් 06 දෙනෙකු සහ රුසියානු සහ මැලේසියානු ජාතිකයෙකුත් මම බේරා ගෙන ආවා .
මේ තරුණ දරුවෝ අවුරුදු දෙකක් , දෙකහමාරක් මේ කදවුරු වල දුක් ගැහැට මැද සිටියා. තවත් ශ්‍රී ලාංකික දරුවන් 14 දෙනෙකු තවමත් ඒ කදවුරු වල ඉන්නවා.
මම මේ දරුවන් බේරා ගැනීමට මුදල් ලබා ගත්තා කියල ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පුවත් මම ප්‍රතික්ෂේප කරනවා. ඉතිරි ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සදහා අපගේ රජයේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යතුමිය මගෙන් ඉල්ලීමක් සිදු කළ හොත් ඒ සදහා ඉදිරිපත් වී කටයුතු කිරීමට මම සූදානමින් සිටිනවා" යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.
උන්වහන්සේ පිළිගැනීම සදහා බැනරයක් ද රැගත් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට සහ එතැන් සිට ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යාම සදහා , සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration ) බර පැන දරා තිබුණි.
ඒ අනුව එම සංවිධානය විසින් මියන්මාරයේ සයිබර් කදවුරු තුළ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් ඉකුත් 04/18 දින 08 දෙනෙකුත් , 09/06 දින 22 දෙනෙකුත් සහ 12/16 දින 27 දෙනෙකුත් වශයෙන් මෙරටට ගෙන ඒමට මැදිහත් වී ක්‍රියා කර තිබුණි.