සහෝදර සහ මිත්‍ර රාජ්‍යයන් වල යුතුකම වන්නේ අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කර ගැනීම බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද මෝදි මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ ඒක්දින සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යරයා හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර පැවැති හමුවේදී මේ බව සඳහන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන්ට සිදු කළ ආරාධනය පිළිගත්තේ මහත් සතුටින් බවත් ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියට ද එලෙසම බවත් ඔහු පැවැසීය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නංවාගැනීම සහ කලාපීය ආරක්ෂාව මෙන්ම සාමය සහ ස්ථාවරත්වය පිළිබඳව ද නායක දෙපළ අතර සාකච්ඡා ඇතිවිය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටම ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වූ රටවල් වන අතර කුමන අන්දමේ හෝ ත්‍රස්ත ප්‍රහාරයක් තරයේ හෙළා දකින බව අවධාරණය කළ නායකයෝ ත්‍රස්තවාදය දුරලීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කළයුතු බවට ද එකඟ වූහ.
ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව රට තුළ නොසන්සුකාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක තම රටට පැමිණ ලෝකයට ලබාදුන් පණිවිඩය පිළිබඳ මෙහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීය.
ජනාධිපතිවරයා සඳහන් කළේ අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ශක්තිමත් සහ විශ්වසනීය සබඳතාවය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයෙන් වඩාත් පිළිබිඹු වන බවයි.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථික, වෙළෙඳ මෙන්ම සංචාරක ක්ෂේත්රවල උන්නතියට වඩා යහපත් තත්ත්වයක් වනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

