ඡන්දයකට නාම යෝජනා කැඳවා, තව මාස කිහිපයකින් තවත් ඡන්දයක් පැවැත්වීමට නියමිතව තිබියදී කඩිමුඩියේ සංවර්ධන කටයුතු රජයේ මැදිහත්වීමෙන් සිදු කිරීම මැතිවරණ නීතිරීති දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා අද (06දා) අම්බලන්ගොඩ පෝරඹ සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
මේ දිනවල ආණ්ඩුවේ මැතිඇමතිවරුන් හා ඊට සම්බන්ධවූවන් සහභාගිවී කරනු ලබන සහල් බෙදාදීම දීම ඊට හොඳම නිදසුනක් බවද දේශප්‍රිය මහතා මෙහිදී කීවේය. ආණ්ඩුව කඩිනම් සංවර්ධන යෝජනා ක්‍රම සියල්ලම ජූලි 31 කට පෙර නිමා කිරීමට දැනුම්දීමෙන්ද පෙනෙන්නේ ළඟ ළඟ එන මැතිවරණය ඉලක්ක කරමින් මේවා සිදු කෙරෙන බවද ඒ මහතා කීය.
පළාත් පාලන සංවර්ධන වැඩකටයුතු සිදු කිරීමේ අධීක්ෂණ අනුකමිටු පත් කිරීමද ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන සිදු වන්නක් බවත්, එම කමිටු පත් කිරීමේ බලය ඇත්තේ ආණ්ඩුකාරවරුන්ට බවත් කී දේශප්‍රිය මහතා ආණ්ඩුකාරවරුන්ගෙන් හත් දෙනෙකුම දේශපාලනයට සෘජු සම්බන්ධයක් ඇති, ආණ්ඩුවෙන් පත් කළ අය බවත්, අනෙක් අයද ආණ්ඩුවේ මැදිහත්වීමෙන් පත්වූ අය නිසා මේ කමිටුවලට පත්වන්නේද දේශපාලන හිතවතුන් බවත් කීවේය.
සංවර්ධන යෝජනා ක්‍රම හොඳ වුවත් මේවා ඡන්දයක් ඉලක්ක කරගෙන නොකරන බවට ජනතාව දැනුම්වත් කිරීම සඳහා සෑම යෝජනා ක්‍රමයක් ආසන්නයේම මේවා මහජන මුදලින් සිදු කරනු ලබන කිසිදු දේශපාලනික මැදිහත්වීම් මත සිදුනොවන ඒවා බව දැක්වෙන බැනර් පදර්ශනය කළ යුතු බවත් දේශප්‍රිය මහතා කීවේය.