පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට හිමි සියලු වරප්‍රසාද අහිමි කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනතා සේවකයෙක් බවට පත් කරන බවත් ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන බදු රහිතව වාහන ලබා ගැනීමේ බලපත්‍රය, නිල නිවාස ලබා නොදෙන බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරුන්ගේ කාර්යමණ්ඩල සදහා ඥාතීන් පත්කර ගැනීම නවතා දමන බවත්, නිවාසවල විදුලි බිල, ජල බිල ආදී බිල්පත් ගෙවීම නවතා දමන බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජන රැලිය අමතමිනි.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ලබා නොදෙන බවත්, ආරක්ෂාවට තර්ජනයක් ඇත්නම් පමණක් එක් නිලධාරියෙක් පමණක් ලබාදෙන බවත් ඔහු කීවේය. මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන බලපත්‍රය ලබා නොදුන්නද, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට ලබා දෙන බලපත්‍රය එලෙසින්ම ලබා දෙන බවත්, ඒ පිළිබඳව වෘත්තිකයන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවත් ඔහු පැවසුවේය.
“කිසි ධනයක් නැති කෙනෙක්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් කියන්නේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හම්බ කරන්න පුළුවන් නිධානයක්. නීතිවිරෝධි ලෙස ධනය උත්පාදනය කරන කෙනෙක්ට ඒ ධනය නීත්‍යනුකූල කරගන්න ලැබෙන නිධානයක්. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් විදයම් කරන්න පුළුවන්, නාස්ති කරන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන් නිධානයක්. රාජ්‍ය භාණ්ඩාගාරය ඒගොල්ලන්ට නිධානයක්.
අපි පියවරෙන් පියවර ගන්නවා. දේශපාලකයා මහජන සේවකයෙක් වෙන්න ඕන. මහජන සේවකයෙක් නම් විශ්‍රාම වැටුප ගන්න බෑ. ඒක අහෝසියි. මන්ත්‍රීවරයෙක්ට ලැබෙනවා පර්මිට් එකක්. ඒක කෝටි ගාණට විකුණනවා. මීට පස්සේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යටතේ පර්මිට් නැත. ඒගොල්ලෝ ගිහිල්ලා වේදිකාවේ කියනවා මන්ත්‍රීවරුන්ට විතරක් නෙමෙයි දොස්තරටත් පර්මිට් දෙන එක නවත්තන්න එන්නෙ කියලා. දොස්තරගේ පර්මිට් එකයි, මන්ත්‍රීගේ පර්මිට් එකයි එකට මනින්න එපා. ඒක වෘත්තිකයෙක්ට ලැබෙන දෙයක්.
මන්ත්‍රී කියන්නේ ජනතා සේවකයෙක්. ඒ නිසා ඒ දෙක පටලවා ගන්න එපා. අපි ආදර්ශයක් දෙන්න ඕන. ඒකට ආදර්ශමත් නායකත්වයක් අවශ්‍යයයි. ඇමතිවරුන්ට නිල නිවාස දෙනවා. අපේ ආණ්ඩුවකින් නිල නිවාස දෙන්නේ නැත. ඇමතිගේ ලයිට් බිල ආණ්ඩුවෙන් ගෙවන්නේ නැත.
ඇමතිගේ කාර්යමණ්ඩලයට ඥාතීන් ගන්නෙ නැත. මන්ත්‍රීවරයා පිටිපස්සේ යන්න රථ පෙළපාළි යන්නේ නැත. යම් මන්ත්‍රීවරයෙක්ට ජීවිත තර්ජනයක් තියෙනවා නම් පමණක් පොලිස් නිලධාරියෙක් දෙනවා. වාහනේ දොර අරින්න, ෆයිල් ගෙනියන්න පොලිස් නිලධාරින් දෙන්නේ නැත. එතකොට ඒගොල්ලො දේශපාලනයට එයිද කියලත් කියන්න බෑ. මේ රට හදන ආදර්ශය දෙන්නේ ජාතික ජනබලවේගය.”