මාස් කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 130ක සහතික මිලක් ලබා දෙන ලෙස ඉල්ලා අද (10දා) කෘෂිකර්ම ඇමතිවරයාට සංදේශයක් භාර දෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
දිවයිනම ආවරණය වන පරිදි ගොවි සංවිධාන 50කට ආසන්න නියෝජිතයන් රැස්වී වී කිලෝවක් නිෂ්පාදනය කර ගැනීමට යන වියදම ගණනය කළ බවද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මේ අනුව මෙවර කන්නයේදී වී කිලෝවක් නිෂ්පාදනය කර ගැනීමට පමණක් රුපියල් 105ත් රුපියල් 110ත් අතර මුදලක් වැය වී තිබෙන බවද පවසා සිටියේය.
වී වගාව මාස තුනක් ගොවීන්ට බලා ගැනීමට සිදුවන බවත්, මීට අමතරව බොහෝ ගොවීන් බැංකුවලින් ණය ලබා ගෙන වගා කටයුතු සිදුකර තිබෙන බවද සඳහන් කළේය.
මේ නිසා ගොවියාගේ මහන්සියට හා බැංකු පොලී වැනි කටයුතු සඳහාත් යම් මුදලක් වැය වන බවත්, මීට අමතරව වී ඇසිරීමට අදාළ බෑග් සඳහා හා කඹුරේ සිට වෙළෙඳ පොළට අස්වැන්න රැගෙන යාමටත් මුදලක් වැය වන බවද පැවසීය.
දැනට පවතින සහල් මිල සකස් කර තිබෙන්නේ වී කිලෝවක් රුපියල් 130කට මිලදී ගත්තා සේ සලකා බවත්, මේ නිසා මෙවර කන්නයේදී වී කිලෝවක් රුපියල් 130කට මිලදී ගැනීම තුළින් සහල් මිල වැඩි කිරීමට අවශ්‍ය නොවන බවද සඳහන් කළේය.
සිදු කළ යුතුව තිබෙන්නේ පුද්ගලක වෙළඳුන් සේම, රජයත් වී මිලදී ගෙන සහල් මිල පවතින අයුරින්ම පවත්වාගෙන යාම බවද පැවසීය.