2024 වසරේ ගෙවී ගිය මාස හයක කාලය තුළ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීම් 11 ක් පමණ සිදුව ඇති බවත්, පසුගිය ජුනි මස පමණක් හතරවතාවක් දුම්රිය පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය මගීහු කියති.
ගලබඩ හා ඉඟුරුඔය අතරදී පෙරේදා (30) අලුයම බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමකට ලක් වු බවත්, මෙසේ නිරන්තරයෙන් උඩරට දුම්රිය මාර්ගයේ සිදු වෙමින් පවතින දුම්රිය පීලී පැනීම් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්වෙමින් සිටින බවද උඩරට දුම්රිය මගීහු චෝදනා කරති.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන් පීලි පැනීමට ලක්වුවහොත් විශාල දුරක් දැඩි අපහසුතා මැද බස් රථ ලබා ගැනීමට පා ගමනින් යාමට සිදුවන බවත්, රැගෙන යන ගමන් මලු හා විවිධ බඩු භාහිරාදිය රැගෙන යාමේදී තමන් දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්වෙන බවද ඔවුහු කියති.
විශේෂයෙන් උඩරට දුම්රියන් තුළ විදේශීය සංචාරකයන් බහුල ලෙස ගමන් කරන බවත්, එම විදේශීකයන්ද නිරන්තරයෙන් සිදුවන මෙම පීලි පැනීම් හේතුවෙන් අපහසුතාවයන්ට ලක්වෙමින් පසුවන බවද ඔවුහු සඳහන් කරති.
උඩරට දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් මෙසේ දුම්රියන් පීලි පැනීමට ලක් වෙමින් පැවතීම හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීමට මගීන්, දේශීය හා විදේශීය සංචාරකයන් මේ වනවිට මැළිකමක් දක්වන බවද දුම්රිය මගීහු පෙන්වා දෙති.
උඩරට දුම්රිය මාර්ගය නිසි පරිදි නඩත්තු කොට දුම්රියන් පීලී පැනීමට ඇති ඉඩකඩ අසුරා දුම්රිය මගීන්ට අබහසුතාවයන්ට ලක් නොවන ආකාරයට දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දුම්රිය මගීන් වගකියයුතු අංශවලින් වැඩිදුරටත් ඉල්ලා සිටිති. ( I J)
ශාන් හුලංනුගේ