ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ මාලිමා රජයක් විසින් සිදුකරනු ලබන සංවර්ධන කටයුතු සඳහා පක්ෂයක් ලෙස ඉදිරියේදී උපරිම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
ඔහු සඳහන් කර සිටියේ පක්ෂයක් ලෙස කිසිදු ආකාරයකින් එම ගමනේ කකුලෙන් ඇදීමක් සිදු නොකරන බවයි.
බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (14දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කී ප්‍රධාන ලෙකම්වරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
“ඒ කොවිඩ් වසංගතයට මුහුණදීමේදී අපි ආර්ථිකය අමතක කරලා ජනතාවගේ ජිවිත ගැන හිතලා කටයුතු කිරීමෙන් පක්ෂයක් හැටියට, ආණ්ඩුවක් හැටියට වරදක් කළා. ඒ වරදට ජනතාව අපිට මේ වන විට යම්කිසි උත්තරයක් දීලා තිබෙනවා. අපි ඒ ජනතාවගේ තීන්දුව ඉතාම නිහතමානීව, ගෞරවාන්විතව පිළිගන්නවා පක්ෂයක් විදිහට. මේ රටේ අවංකව හිතන , මේ රටේ ජාතිකත්වය හිතන එකම පක්ෂය හැටියට ඉතුරුවෙලා තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ තීන්දුව පිළිගන්න ගමන්ම අපි අලුත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා අවංකව මේ රටේ අනාගතය වෙනුවෙන්.
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ මාලිමා රජයකට ඉදිරි කාලයේදී අපි පක්ෂයක් හැටියට මේ රට වෙනුවෙන් අවංකව රටේ උන්නතිය වෙනුවෙන්, රටේ සංවර්ධනය වෙනුවෙන් සිදුකරන සියලු කටයුතුවලට සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා. පක්ෂයක් විදිහට කිසිම ආකාරයකින් ඒ සංවර්ධනයේ ගමනට කකුලෙන් අදින්න කටයුතු කරන්නේ නැහැ.”