මාලිමාවේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රශ්න 5ක් අන්තර්ග කර ඇති බවත්, පාසල් දරුවන් දේශපාලනීකරණය කිරීමේ ආණ්ඩුවේ පළමු පියවර මෙයදැයි තමන් ප්‍රශ්න කරණ බවත් පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (11) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක් වීය.
මාලිමා දේශපාලනය පාසල් ඇතුළට රිංගවයි
මාලිමාවේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් පාසල තමයි මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලය. මේ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය තමයි මේ තිබෙන්නේ. පළමු ප්රශ්නය තමයි ජනපති අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නම කුමක්ද? දෙවන ප්රශ්නය ජනපතිවරණයේ දී ජනපති අනුර ලබා ගත් ඡන්ද ප්‍රතිශතය. තුන්වන ප්රශ්නය වෙන්නේ ජනපති අනුරගේ ලේකම්වරයා කවුද? හතරවන ප්රශ්නය අගමැතිවරියගේ විෂය පථය ගැන. පස්වන ප්රශ්නය ජවිපෙ ආරම්භ කළ වර්ෂය කුමක්ද. පළමු ප්‍රශ්න පහම වෙන් කරලා තිබෙන්නේ මාලිමාවට.
මේ තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ ප්‍රශ්න පත්‍රය සැකසීමේ මාර්ගෝපදේශ. පලමු ප්‍රශ්න 10 කාලීන සිදුවීම් ආශ්රිත තොරතුරු වෙනුවෙන් වෙන් වෙනවා. ඒකෙන් 50%ක්ම මාලිමාව නැතිනම් 10 යෙන් 5ක් ම මාලිමාව ගැන ප්‍රශ්න. කිසිම ආණ්ඩුවක් දේශපාලනය පාසල් ඇතුලට මේ වගේ රිංගවාලා දරුවන්ගේ ඔළුව කන්න හැදුවේ නෑ කියලා අද දෙමව්පියන් කියනවා. පාසලේ ආදිශිෂ්‍යයින් අපට කිව්වේ කොටි ත්‍රස්තවාදය පරාජය කරලා යුද ජයග්‍රහණය ලබපු වෙලාවේ වත් මෙවැනි ප්‍රශ්න මාලාවක් දරුවන්ට ඉදිරිපත් කලේ නෑ කියලා.
මාලිමාව රාජ්‍ය බලය අවභාවිතා කරලා පාසල් දරුවන් දේශපාලනිකරණය කිරීමේ පළමු පියවර මේකදැයි අපට ප්‍රශ්න කරන්න වෙනවා. අපි පාසල් යන කාලයේ ජවිපෙ අපට කිව්වේ “පළමුව මව්බිම - දෙවනුව ඉගෙනුම” ඒ නිසා අධ්‍යාපනය අත් හැරලා ආණ්ඩුවට එරෙහිව දේශපාලනය කරන්න එන්න කියලා. අපිත් ඒ ලණුව කාලා අධ්‍යාපනය අත් හැරලා දේශපාලනය කරන්න ගියා. මොකක්ද පූරුවේ වාසනාවකට විභාග ඉහළින්ම සමත් වෙන්න අපට පුළුවන් වුණා. නමුත් හැමෝම එතරම් වාසනාවන්ත වුණේ නෑ.
විශ්ව විද්‍යාල දරුවන් ගවේශනශීලි විමර්ශනශීලී පිරිසක් වෙන්න ඕනි කියලා සෝරත හාමුදුරුවෝ කිව්වත් අද විශ්ව විද්‍යාල දරුවන් ජවිපෙ දුරස්ථ පාලකයෙන් ක්‍රියාත්මක වන රොබෝ යන්ත්‍ර බවට පත් වෙලා. රාජ්‍ය බලය අවභාවිතා කරලා පක්ෂ දේශපාලනය පාසල් ඇතුලට අරගෙන ගිහින් පාසල් දරුවන් විනාශ කරන්න එපා කියලා ජනාධිපතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.